තේ උපන් බිමේ තේ කම්හල් වැසේ | දිනමිණ

තේ උපන් බිමේ තේ කම්හල් වැසේ

ඉන්ද්‍රාණි තෝරදෙණිය
ගාමිණී රණසිංහ
කම්හල වසාගෙන කැලය වැවේ

පසුගිය නාය යාම් සමයේ නාය යාමේ තර්ජනයට ලක් වෙතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යන වාර්තාවල සඳහන් වන බවට කරන ලද වාචික දැනුම් දීමකට අනුව මෙම කම්හල වසා දමා ඇතත් ඉන් ඔබ්බට කිසිදු විසඳුමක් ලැබී නැත. කන්ද උඩරට හන්තාන තේ වත්ත ලංකාවේ දැඩි ප්‍රසිද්ධියක් උසුලන තේ වත්තකි. අති සුන්දර පරිසරයක සෞම්‍ය දේශගුණයක පිහිටි මෙය අක්කර 515ක ඉඩම් වපසරියකින් සමන්විතය.

එදා මෙදා තුර වසර 150ක් ‍මෙරටට විදේශ විනිමය ගෙනා තේවලට හිමිවන්නේ සුවිශේෂි තැනකි. කන්ද උඩරට හේවාහැට ලූල්කදුර වත්ත තේ පැළයට මෙරට උපත දුන් බවට ඉතිහාස පොතේ ලියවෙද්දි හේවාහැට ආසනයේ තේවලට අද හිමිව ඇත්තේ අනාගතයට ලියවීමට උරුම වන අඳුරු යුගයකි. හේවාහැට තේ කර්මාන්ත ශාලා සියල්ල වැසි යද්දි පාත හේවාහැට කොටසට ඉතිරි වු අන්තිම තේ කම්හල වන හන්තාන තේ කම්හලද අද වැසි ගොස් අවසානය.

වසර දහයක් පුරාවට අහරක් නොදුටු හවුහරණක් නොදුටු තේ ගස් අද මවු පිය හවුහරණක් නොමැති දරුවන් සේ ඉබාගාතේ යද්දි තේ පැළයට පෙම් බැදි තේ පැළයෙන් දිවි ගැට ගසා ගත් වතු කම්කරුවෝ තේ ගස් දෙස බලාන සෝ සුසුම් හෙළති.

තේ කර්මාන්ත ශාලා වැසීමට ප්‍රධාන හේතුව තේ වතු පාඩු ලබන තත්ත්වයේ තිබීම සහ කැඩෙන තේ දලු ප්‍රමාණය අඩු වීම යැයි බොහෝ අය පැවසුවද වතු කම්කරුවන් පවසන්නේ තේවලට මේ ඉරණම උදාවි ඇත්තේ කලක සිට වතු පාලකයින් තේ ගසට දක්වන කුඩම්මාගේ සැලකිල්ල නිසා බවය.

ජේම්ස් ටේලර් නමැති ඉංග්‍රිසි වතු පාලකයා විසින් 1867 පෙබරවාරි 19 වනදා හේවාහැට ආසනයේ මතුරට ලුල් කදුර නමැති වත්තේ ප්‍රථම තේ පැළය හිටුවා මෙරට තේ වගාව ආරම්භ කර ඇත. පසුව අංක එකේ විදේශ විනිමය උපයන අංගයක් බවට පත්ව ඉතා දියුණු තත්ත්වයක පැවතිණි. ජනතා වතු සංවර්ධන මණ්ඩලය මෙන්ම පෞද්ගලික අංශයන් මගින් තේ වගාවේ උන්නතිය සදහා නොයෙක් ආකාරයෙන් කටයුතු කර ප්‍රතිඵල ලබා ඇතත් අද අත්වි ඇත්තේ සෝචනීය ඉරණමක් බව ශිඝ්‍රයෙන් වැසියන තේ කම්හල්වලින් සහ තේ අස්වනු පහත වැටීමෙන් පෙනියයි.

කන්ද උඩරට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් තේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසි යද්දි තේ වතු සමාගම් විසි දෙකකට අයත් තේ කර්මාන්ත ශාලා හතළිස් තුනක්ද වැසි ඇති බව වතු වෘත්තිය සමිති නිලධාරිහු පවසති. තේ පැළයට උපත දුන් හේවාහැට ආසනයට අයත් දෙල්තොට, බෝපිටිය, ගේ‍ර්ට් වැලි ඇතුළු තේ කම්හල් බොහොමයක් අද වැසි ගොස්ය. මෙහි නෙළන තේ දලු පිටස්තරට රැගෙන යන්නේ වෙන කළ හැකි දෙයක් නොවන නිසාය. එයට පිළියමක් ලෙස වසර දෙකක් තුනක් වසා දමා තිබු හන්තාන තේ කර්මාන්ත ශාලාව වත්මන් රජයේ දින සියයේ සංවර්ධන සැලැස්ම යටතේ රුපියල් ලක්ෂ තිහකට අධික මුදලකින් සංවර්ධනය කර ඇතත් වසරක වැනි කෙටි කාලයක් තුළ නැවත වසා දමා ඇත.

පසුගිය නාය යාම් සමයේ නාය යාමේ තර්ජනයට ලක් වෙතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යන වාර්තාවල සඳහන් වන බවට කරන ලද වාචික දැනුම් දිමකට අනුව මෙම කම්හල වසා දමා ඇතත් ඉන් ඔබ්බට කිසිදු විසඳුමක් ලැබි නැත. කන්ද උඩරට හන්තාන තේ වත්ත ලංකාවේ දැඩි ප්‍රසිද්ධියක් උසුලන තේ වත්තකි. අති සුන්දර පරිසරයක සෞම්‍ය දේශගුණයක පිහිටි මෙය අක්කර 515ක ඉඩම් වපසරියකින් සමන්විතය. හිමිදිරි පාන්දර තේ වත්තේ වැඩකරන ජනතාව කාගේත් නෙත් සිත් ප්‍රබෝධමත් කළෝය. අද ඒ දසුන් බොහෝදුරට දුරස්ව ඇත. තේ දලු සුවඳ දැනෙන තෙක් මානයක නැත. තේ පැළ අතර වැවුණු තණකොළ ද තේ ගස් ආක්‍රමණය කර තිබේ. මෙය තේ වගාවේ විනාශය විදහා දක්වයි.

මේ පිළිබදව අදහස් දක්වන ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය

හේවාහැට ආසනයේ කිසිම කර්මාන්ත ශාලාවක් නෑ. මේ තේ කර්මාන්ත ශාලා ටික විතරයි තිබුණේ. තේ පැළය ඉස්සරවෙලාම හැදුවේ මෙහේ. නමුත් දැන් තේ කර්මාන්තය අන්තිමටම පිරිහිලා. තිබුණ කර්මාන්ත ශාලා සියල්ලම වැසීගෙන යනවා. පාත හේවාහැටට තිබුණ අන්තිම තේ කම්හලත් වැහිලා. හරිම කනගාටුදායකයි. අපි දින සියයයේ සංවර්ධන වැඩසටහනට ලොකු වියදමක් දරලා මේක නැවත විවෘත කළා. නායයාමේ අවදානම් කියලා වැහුවා. ඊට පසු පසුවිපරමක් නෑ. නායයාමේ අවදානම තිබු අවට පාසල් ගෙවල් සියල්ල දැන් පරිහරණය කරනවා. මේ පිළිබඳ සොයා බලා විසැඳුමක් දිය යුතුයි. වෙනම වාර්තාවක් අරගෙන වැසි නොමැති කාලවල හෝ මෙය පාවිච්චි කළ යුතුයි. ලක්ෂ එක හමාරක විතර අලුත්වැඩියා තියෙනවා කියනවා. කෝටි ගාණක් වටිනා දේකට මේ සුළු මුදල නිසා නොසලකනවානම් විහිළුවක්. සේවකයෝ පන් හය සියයක් වැඩකරනවා. ඔවුන්ගේ දෛනික ජීවිතය ගැන සිතිය යුතුයි. මේක යථා තත්ත්වයට පත් කිරිම කඩිනම් කළ යුතුයි. මේ පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි මම කතා කළා. තේ කර්මාන්තයට මෙහෙම වෙන්න දෙන්න බෑ.

පුෂ්ප රාජ්

අපි පරම්පරා තුනක් විතර මේ තේ වත්තේ ඉන්නවා. වැඩකරනවා. මේක තමා අපිව ජිවත් කරවන්නේ. ඉස්සරනම් ගොඩාක් හොඳයි. දැන්නම් තේ වත්ත ගැනවත් තේ ගැනවත් කතා කරලා වැඩක් නෑ. මේ වත්තේ තිබුණ සුන්දරත්වය නැත්තට නැතිවෙලා. මේක විනාශ වෙනවා අපිට බලාගෙන ඉන්ට බෑ. මාසෙකට තේ වලට යොදන බෙහෙත්වලට අපේ පඩියෙන් කපනවා. මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ. අපිට එහෙම හරි කමක් නෑ මේවා ගොඩ එනවනම්.

ගනේෂන්

මේ වත්තේ පන්සියයකට වඩා කම්කරු ජනතාව ඉන්නවා. ඉස්පිරිතාලයක් තියෙනවා බේත් නෑ. තැපැල් කන්තෝරුව වහලා දාලා අවුරුදු දෙකකටත් වැඩියි. සේවක බංගලා ඔක්කොම ගරා වැටිලා විනාශ වෙනවා. එක දෙකක් තමා හරියට තියෙන්නේ. බොන්ට වතුර නැ. මේ කර්මාන්ත ශාලාව අරිද්දි අපි ගොඩාක් සතුටු වුණා. ඒක ටික කාලයයි. තේ ගස් ටික ඔක්කොම විනාශ වෙනවා

අවුරුදු ගාණකින් පොහොර දාලා නැ. තේ ගස්වලට වඩා උස තණකොළ තිබෙනවා. සතා සර්පයා මෙන්ම අති දරුණු සත්තු පවා ඉන්නවා වත්තේ. හරිම භයානකයි. වත්තේ තිබුණු ලොකු ගස් ටික ඔක්කොම කපලා ඉවරයි. ඉස්සර වගේ තේ අස්වනු දැන් නැ. තව කාලයක් මෙහෙම ගියොත් හන්තාන තේ වත්තක් ගැන කතා කරන්ට නැති වෙයි.

නඩේෂන් ෂම්මුගරාජා

අපිට වැඩ තියෙන්නේ සතියට දින දෙක තුනයි. අනෙක් දවස්වලට වෙන කොහේ හරි වැඩ හොයාගෙන යන්ට ඕනැ. අර්ථ සාධක මුදල් 2001 සිට දාලා නැ. අවුරුදු 60 න් විශ්‍රාම යනවා.

ඊට පස්සේ අපට ජිවත් වෙන්ට විදිහක් නැ. ඡන්ද කාලේ නම් ටික දෙනෙකුට අර්ථ සාධක මුදල් දුන්නා. ඒක එතනින් ඉවරයි. අපි ජිවත් වෙන්නේ මේ වත්තෙන්. ඉස්සර හොඳ අස්වැන්නක් තේවල තිබුණා. අපිටත් හොඳ කලක් තිබුණා. ඒ තත්ත්වය හදලා දෙනවානම් ලොකු දෙයක්.

හන්තාන තේ කර්මාන්ත ශාලා කළමනාකරු නිශාන්ත මහතා

පසුගිය නාය යාමේ අවදානම් තිබුණ බවට වාචිකව දැනුම් දුන් නිසා කර්මාන්තශාලාව වැහුවා. වෙනම වාර්තාවක් ගත යුතුයි. ඒ පිළිබද කඩිනමින් කටයුතු කර නැවත ආරම්භ කරන්ට බලා පොරොත්තු වෙනවා. ලක්ෂ එක හමාරක විතර අලුත් වැඩියා කටයුතු තිබෙනවා. තේවලට නම් අවුරුදු දහයකින් විතර පොහොර යොදලා නැ. දේශගුණික තත්ත්ව සමග ප්‍රතිපාදන ලැබිම් බලපානවා. මේ කර්මාන්ත ශාලාවට දිනකට තේ කිලෝ පන්දහසක්වත් අවශ්‍යයි. නමුත් දැන් ලැබෙන්නේ දෛනිකව කිලෝ දෙදහස් පන්සියයක් පමණ. ඒක ප්‍රමාණවත් නැ. අර්ථ සාධක ප්‍රශ්න තියෙනවා.

කර්මාන්ත ශාලා වැසි යද්දි තේ දලු හිඟයක් උලුප්පා දැක්වේ. පෝෂණයක් නොලැබෙන තේ ගස් වැඩි අස්වැන්නක් ලබා දිමට නොහැකිව නිසොල්මනේ සිටි. රටට විදේශ විනිමය ගෙනා මාවත් නොදැනිම ඇහිරි යයි. වතු කම්කරු දෛනික ජිවිතය දිනෙන් දින අගාධයට ඇද වැටෙයි. සියල්ලට විසදුමක් ලෙස වැසි ගිය තේ කම්හල් නැවත ඇරෙන තුරු වතු කම්කරුවෝ වැඩකරන්ට සුදානම්ව දෑස් දල්වා බලා සිටිති.

නව අදහස දක්වන්න