තොරතුරු පනත ඊයේ සිට ක්‍රියාවට | දිනමිණ

තොරතුරු පනත ඊයේ සිට ක්‍රියාවට

ස්වර්ණා විජේකෝන්

රට නිවැරැදි දිශානතියකට ගමන් කරවන ශක්තිමත් පනතක් වන තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත ඊයේ (3) සිට බලාත්මක බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

වත්මන් රජය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දුවක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ජූනි මාසයේ 24 දා පැවැත්විණි.

ලෝකයේ ශ්‍රේණිගත කිරීම් අනුව නවවැනි ස්ථානයට පත්ව ඇති මෙම පනත දකුණු ආසියාවේ දෙවන ස්ථානය ලබා ගන්නා ජනතා හිතවාදි පනතක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කර මාස හයකින් එය ක්‍රියාවට නැංවිය යුතු අතර ඒ අනුව ඊයේ (03) සිට මෙම පනත බලාත්මක වේ.

මෙම පනත ක්‍රියාවට නැංවීමත් සමඟ රජය මහජන බදු මුදල් භාවිතයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව සහ රජයේ තොරතුරු පුරවැසියාට ලබාදීමට රජය බැඳී සිටියි. එහෙත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු, පෞද්ගලික වෛද්‍ය වාර්තා ඇතුළු කරුණු ගණනාවක් යටතේ බැදෙන තොරතුරු ලබානොදෙන බවද ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව ඊයේ (3) සිට පුරවැසියන්ට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බවත්, ඒ සඳහා තොරතුරු නිලධාරීන් පත්කර ඇති බවද ඇමැතිවරයා කීය.

තොරතුරු ලබා ගැනීම සඳහා ලිඛිතව,විද්‍යුත් තැපැල් මඟින්, වාචිකව ආදි ක්‍රමවේදවලට ඉල්ලා සිටිය හැකි අතර ඉල්ලා සිටින තොරතුරු දින 14කින් ලබාදිය යුතුවේ. එමෙන්ම යම් අයකු ඉල්ලා සිටින තොරතුරු නොදී සිටීමට, වසන් කිරීමට යම් තොරතුරු නිලධාරියකු උත්සාහ කරන්නේ නම් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ. පුරවැසියකු ඉල්ලා සිටින ‍තොරතුරු සම්බන්ධයෙන් යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවන අවස්ථාවක අභියාචනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් අභියාචනා නිලධාරීන් ද පත් කර ඇති අතර එයින්ද සෑහිමට පත්නොවන්නේ නම් අභියාචනාධිකරණයට පවා යා හැකි බවත් ඇමැතිවරයා කීය.

යම් පුරවැසියකු ඉල්ලා සිටින තොරතුරු සැපයීමේදී ඒවා ලබාදීමට අයකරන ගාස්තු ක්‍රමවේදයක් සකස් කර ඇති අතර පළමු කොළ දෙක (පිටු හතර) නොමිලේ ලබාදිමට තීරණය කර ඇත. 

නව අදහස දක්වන්න