නිදහස් අධ්‍යාපනයට නව ජවයක් - ජනපති | දිනමිණ

නිදහස් අධ්‍යාපනයට නව ජවයක් - ජනපති

රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සදහා සෑම රජයක්ම ගෙන ගිය වැඩපිළිවෙළට වත්මන් රජය නව ජවයක් ලබාදී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.
 
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මොරටුව වේල්ස් කුමර විදුහලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (06) පෙරවරුවේ එක්වෙමිනි.
 
විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.
 
ත්‍යාග ප‍්‍රදානෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටක උගතුන් වැඩිවෙත්ම එම රට වේගයෙන් සංවර්ධනය කරා ගමන් කරන බවයි. 
 
දරුවන් නව තාක්ෂණ ලෝකය සමග එක්කරමින් දරුවන්  බලාපොරොත්තුවන ජයග‍්‍රහණ කරා ඔවුන් මෙහෙයවීමට වත්මන් රජය කැපවි සිටින බව ද ජනාධිපතිතුමා  සදහන් කළේය.
 
කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියමින් ඉදිරියට පැමිණ 140 වන සංවත්සරය සමරන වේල්ස් කුමර විද්‍යාලයේ ගමන් මග ද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ඉදිරියේදී තවත් උගතුන් රටට උරුමකරදීමට විද්‍යාලය සමත්වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
 
මීට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක් වෙනුවෙන් විද්‍යාලයට පැමිණි අවස්ථාව සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා පාසල් දරුවාගේ සිට සියලූ පුරවැසියන්ගේ සහය රජයට අවශ්‍ය බවයි.
 
ඩෙංගු උවදුර පිළිබද අද ඇතැමුන් විවිධ විග‍්‍රහයන් සිදු කළද ඩෙංගු මදුරුවා මර්දනය අද ලෝකයටම පහසු කාර්යය වී නොමැති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ගෝලීය උෂ්ණත්වය සමග ඇතිවන කාළගුණික සහ දේශගුණික තත්ත්වයන් මත නිර්මාණය වන ඩෙංගු මදුරුවා හේතුවෙන් ලොව සංවර්ධනය වූ රටවල් පවා බරපතළ තර්ජනයකට මුහුණ දී සිටින බව ද පෙන්වා දුන්නේය.
 
විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ද විදුහල්පති කේ.ජේ. ප‍්‍රනාන්දු මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

නව අදහස දක්වන්න