ආනයනික සම්බා නාඩු සහල්වලට උපරිම මිලක් ඊයේ සිට | දිනමිණ

ආනයනික සම්බා නාඩු සහල්වලට උපරිම මිලක් ඊයේ සිට

වෙළෙඳ පොළ සහල් මිල ගණන් සලකා බලා ආනයනික සම්බා සහ නාඩු යන සහල් වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය ඊයේ (06) තීරණය කළේය. ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝ 1ක් සඳහා රුපියල් 80ක් ද, නාඩු සහල් කිලෝ 1ක් සඳහා රුපියල් 70 ක් ද වශයෙන් මේ උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

එය ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

ඊයේ (06) දහවල් මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මෙම තීරණය ගනු ලැබීය. මෙම කමිටුව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනතාවට කඩිනමින් සහන සැලසීම අරමුණු කරගනිමින් ආනයනික සම්බා සහ නාඩු සහල් සඳහා මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කළ බවයි.

මේ මිල ගණන්වලට පටහැනිව අධික මිල ගණන්වලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද සරත් අමුණුගම ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

මේ අතර වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් දස දහසක් සහල් බවට පත්කර, සතොස හරහා අලෙවි කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය. එය මෙම සතිය ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සහල් මිල පහළ දැමීමේ පියවරක් ලෙස මීට පෙර අවස්ථා දෙකකදී ආනයනික සහල් වර්ග 03ක් සඳහා (නාඩු, රතු කැකුළු, සම්බා) බදු පහත දැමීමට රජය තීරණය කරනු ලැබීය.

නව අදහස දක්වන්න