රීබොන් කුසලාන 19න් පහළ බාලිකා සැහල්ලු පන්දු ක්‍රිකට් 11-12 දෙදින | දිනමිණ

රීබොන් කුසලාන 19න් පහළ බාලිකා සැහල්ලු පන්දු ක්‍රිකට් 11-12 දෙදින

ෆවුස් මොහොමඩ්
රුක්මාල් ගමගේ
රීබොන් කොස්මෙටික් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.සිවරාසා මහතා තරගාවලියේ අනුග්‍රාහකත්වය කොළඹ කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනිය රෝහිණී ප්‍රනාන්දු මහත්මියට පිරිනැමූ අයුරු. රීබොන් කොස්මෙටික්ස් සමාගමේ සන්නාම කළමනාකරු සුරාජ් ඩිල්ෂාන්, එම සමාගමේ මෙහෙයුම් කළමනාකරු අනෝජ් තලාකුඹුර, කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ උපදේශක ඩෙරික් ෆොන්සේකා සහ මාධ්‍ය නිලධාරිනී නිර්මලී ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ද මෙහි වෙති.

ක්‍රිකට් ක්‍රීඩාව බාලිකා පාසල් අතර ප්‍රචලිත කරමින් මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් ලබා ගැනීම අරමුණු කරමින් කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය සිය 20 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කළ අන්තර් පාසල් අවුරුදු 19න් පහළ රීබොන් කුසලාන සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 11 සහ 12 දෙදින කොළඹ මුවර්ස් ක්‍රීඩා සංගම් පිටියේ දී පැවැත්වෙයි.

රීබොන් කොස්මෙටික්ස් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මේ තරගාවලියට නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමේ බාලිකා පාසල් 40ක් පමණ සහභාගි වෙති.

ශූරියන්ට රුපියල් ලක්ෂයක මුදලක් සමග රීබොන් කුසලානය පිරිනැමෙන මේ තරගාවලියේ මූලික වටයේ තරග 11 වැනිදා මුවර්ස් පිටියේ එකවර තරග 3ක් පැවැත්වෙන පරිදි සැලසුම් කර ඇති අතර 12 වැනිදා දෙවැනි වටයේ දී කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන තරගවලින් පසුව අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක වත්මන් වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් මහා තරගයට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිය මෙරනී කරුණානායක මහත්මිය සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ ශූරියන්ට මුදල් ත්‍යාග හා කුසලානයට අමතරව රීබොන් ත්‍යාග කට්ටලයක් සමග පදක්කම් පිරිනැමීමටත් කටයුතු යොදා ඇතැයි තරගාවලිය පිළිබඳ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේ දී කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනිය රෝහිණී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

මීට අමතරව අනුශූරියන්ට රුපියල් පනස්දහසක මුදලක් පිරිනැමිමට ද, තෙවැනි හා සිවුවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම්වලට මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව, හොඳම පන්දු යවන්නිය, අවසන් තරගයේ හොඳම ක්‍රීඩිකාව, වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කරන ක්‍රීඩිකාව, වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරන ක්‍රීඩිකාව සහ වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැක ගන්නා ක්‍රීඩිකාව සඳහා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

කොළඹ විශාකා, බිෂොප්, මියුසියස්, දේවිබාලිකා, මරදාන ගෝතමී, අනුලා, සිරිමාවෝ බණ්ඩාරනායක, දෙහිවල ප්‍රෙස්බිටීරියන්. ගල්කිස්ස උසස් බාලිකා, මොරටු මහා විද්‍යාලය, වේල්ස් කුමරී, වත්තල සාන්ත ආනා බාලිකා, පෑලියගොඩ ධර්මදාස මහා විද්‍යාලය, රත්ගම දේවපතිරාජ, වත්තල අටාමී ජාත්‍යන්තර පාසල සමග කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනිකයන් වන සපුගස්කන්ද විශාකා, හොරණ තක්ෂිලා, මහනුවර සාන්ත අන්තෝනි බාලිකා, කොටදෙණියාව මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති, කොළඹ ක්ලිෆ්ටන් බාලිකා, ගම්පහ රත්නාවලී, නුගේගොඩ සාන්ත ජෝශප්, හොරණ ශ්‍රීපාලී, මහනුවර ගෝතමී, මහාමායා, ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහල මේ තරගාවලියට දැනටමත් එක්වී සිටිති. තවත් කණ්ඩායම් රැසක් ඉදිරියේ දී තරගාවලියට එක්වනු ඇතැයි රෝහිණී ප්‍රනාන්දු මහත්මිය කීවාය.

නව අදහස දක්වන්න