‘ස්වශක්ති’ ණය යෝජනා ක්‍රමය අද ඇරැඹේ | දිනමිණ

‘ස්වශක්ති’ ණය යෝජනා ක්‍රමය අද ඇරැඹේ

ජයසිරි මුණසිංහ

කෘෂිකාර්මික, සත්ත්ව පාලන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දිරියෙන් නැඟීසිටීමට අත දෙන ‘ස්වශක්ති ණය යෝජනා ක්‍රමය’ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) අරලියගහ මන්දිරයේ දී ආරම්භ කැරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව තම ප්‍රධානම කාර්යභාරයක් ලෙස ක්‍රියාවට නංවන මේ ණය යෝජනා ක්‍රමයෙන් ව්‍යවසායකයන්ට ණය ලබාගත හැක්කේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සංවර්ධන සහ විශේෂිත බැංකු හරහායි.

ණය මුදල් ආපසු ගෙවීමේ සහ පොලී හා වාරික මුදල්වල සහන රාශියක් සහිත නව ණය යෝජනා ක්‍රමයෙන් රටේ කෘෂිකාර්මික සත්ත්ව නිෂ්පාදන, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි නව ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තු වන දස දහස් සංඛ්‍යාත පිරිසකට සෙත සැලැසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය. ප්‍ර‍ාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වසර ගණනාවක සිට ග්‍රාමීය ණයබරතාවය, දුප්පත්කම, සමාජ සාධාරණත්වය ඇතිකරලීමට ණය යෝජනා ක්‍රම 13ක් ක්‍රියාත්මක කොට තිබේ. ඒවායේ වඩාත් සාර්ථකම ණය යෝජනා ක්‍රමය ලෙස අද ඇරඹෙන ණය ක්‍රමය ජනතාව විසින් පිළිගනු ඇතැයි ද අධිපතිවරයා කීය.

ගොවි, ධීවර, පශු සම්පත්, ආහාර සැකසීම, ප්ලාස්ටික්, විසිතුරු මල්, අත්කම් හා රන් භාණ්ඩ ඇතුළු නිෂ්පාදන අංශ සිය ගණනක ණයලාභීන්ට මේ ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් පිරිනැමේ.

නව අදහස දක්වන්න