‘සයිටම් අවුලට වගකිවයුත්තා මහින්ද’ | දිනමිණ

‘සයිටම් අවුලට වගකිවයුත්තා මහින්ද’

සමන්මලී ප්‍රියශාන්ති

සයිටම් ප්‍රශ්නයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවත්, වසර 7ක් තිස්සේ මේ ප්‍රශ්නයට සහයෝගය දක්වා සයිටම් ප්‍රශ්නය ඔඩුදුවන තත්ත්වයට පත් කළේ හිටපු ජනාධිපතිවරයා බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයාට තමන් කළ වරද නිවැරැදි කර ගෙන සයිටම් සටනට සහාය පළ කිරීමට වගකීමක් තිබුණත් මේ ප්‍රශ්නය ඇති වීමට සියයට සියයක් සම්බන්ධ හිටපු ජනාධිපතිවරයා යැයි ද හෙතෙම මරදාන සාමයික හා සමාජීය කේන්ද්‍රයේ දී ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින් ණය ලබා දෙමින් මේ ආයතනයට සහාය ලබා දුන් අතරම මේ විශ්වවිද්‍යාලය නියාමනය කිරීමට වෛද්‍ය සභාව යා යුතු නැති බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලවා ගැසට් පත්‍රයක් පවා නිකුත් කළ බව ද හෙතෙම අවධාරණය කළේය.

සයිටම් විරෝධී සටනට අද සියලුම බලවේග එක් වෙමින් රජයට විශාල බලපෑමක් සිදු කරන බැවින් රජය මේ සටන කඩාකප්පාල්කාරී කිරීමට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට ඉඩ කඩ තිබෙන බැවින් සයිටම් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීම එවැනි ආකාරයේ කුමන්ත්‍රණයක් විය හැකි බව ද ඒ මහතා මෙහි දී පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා,

මේ වෙඩි තැබීම රජයේ කුමන්ත්‍රණයක් නොවේ නම් පෞද්ගලික ප්‍රශ්නයක් විය හැකියි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර සත්‍ය හෙළි කර ගැනීම පොලිසියේ වගකීමක් වෙනවා. සය­ිටම් ආයතනය සම්බන්ධයෙන් මේ රටේ බරපතළ ප්‍රශ්නයක් පසුගිය වසර 7ක් 8ක් තිස්සේ පැවතුණා. අද වන විට මේ ගැටලුව උග්‍රවෙලා තිබෙනවා. මේ ප්‍රශ්නය නිසා මෙරට අංශ දෙකකට දැඩි බලපෑමක් වෙනවා.

නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනයට මෙයින් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ නිසා මේ රටේ ජනතාවට විශාල ගැටලුවක්, ජීවිත තර්ජනයක් ඇති වෙනවා.

මේ තත්ත්වය නිසා අපි සියලු සංවිධාන සිටින්නේ සයිටම් ආයතනය වසා දැමිය යුතුයි යන ස්ථාවරයෙයි. මේ රජය අපේ සටන මර්දනයෙන් පහරදීමෙන් කුමන්ත්‍රණවලින් බිඳ දමන්නට සූදානම් වෙනවා නම් අපි ඉදිරියේ දී රජයට හොඳින් තේරෙන භාෂාවක් තෝරා ගෙන වෘත්තීය ක්‍රියාමාර්ග තවත් තර කරන්නට කටයුතු කරනවා.

මෙහි දී සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහ, නීතිඥ තිසර චාමර, වෛද්‍ය ආනන්ද රත්නායක මහත්වරු ඇතුළු කිහිප දෙනකු අදහස් දැක්වූහ. 

අදහස් 1ක් ඇත

rate hama awulakatama mula unnahe thamai.

නව අදහස දක්වන්න