රාජ්‍ය සේවය සහ දේශපාලනය | දිනමිණ

රාජ්‍ය සේවය සහ දේශපාලනය

අසේල කුරුළුවංශ

දිවුලපිටිය ආශ්‍රයෙන් විමසා බැලීමක්

ජනතා සේවය සඳහා එකිනෙකට බැඳෙමින් ක්‍රියා කරන රාජ්‍ය සේවය හා දේශපාලනඥයා අතර පවතින්නේ වෙන් කළ නොහැකි සබඳතාවකි. දෙපාර්ශ්වයම එකම අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වීම මිස එකිනෙකා පරයා ක්‍රියාකරන්නට යෑම සුදුසු නොවන අතර දෙපාර්ශ්වය කිසියම් අවබෝධයකින් ක්‍රියා කිරීම අතිශයින් වැදගත්ය. පසුගියදා දිවුලපිටියේ සිදුවූ සිදුවීම මෙම අවබෝධය බිඳීයෑමේ ප්‍රතිඵලයකින් ඇති වූවකි. රාජ්‍ය සේවකයාට තම රාජකාරිය බලපෑම්වලින් තොරව නිදහසේ සිදු කිරීම සඳහා අවස්ථාව තිබිය යුතුය. එසේම ලැබෙන නිදහසින් අවංක ජනතා සේවයක් සඳහා කැපවීම රාජ්‍යය සේවකයාගේ යුතුකම හා වගකීමය.

භූමිය, ජනගහණය, ආණ්ඩුව හා ස්වාධිපත්‍යය යන සිව් ගුණාංග එක්ව රාජ්‍යය බිහිවන බව දේශපාලන විද්‍යාත්මකව විග්‍රහ කළ හැකිය. එහි ප්‍රබලතම කොටසක් වන ජනගහණයට සේවා සැපයීම රජයේ සේවකයන්ගේ මූලික කාර්යභාරයයි. ජනතා ඡන්දයෙන් මහජන නියෝජිතයන් ලෙස තේරීපත්වන පිරිස හා ඔවුන් පාර්ලිමේන්තුව තුළ ගන්නාවූ තීන්දු තීරණ ඔස්සේ සකස් කෙරෙන්නාවූ නීතී, අණපනත් හා චක්‍රලේඛන ක්‍රියාවට නැන්වීමේ ප්‍රමුඛතම කාර්යභාරය පැවරෙන්නේ රජයේ සේවයටය. මෙම දෙපාර්ශ්වයම ජනතා මුදලින් නඩත්තු වන අතර ආණ්ඩු මාරුවීම් සමඟ මැති ඇමැතිවරු වෙනස් වුවත් රාජ්‍යය සේවය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි. ජනතා සේවය ඉලක්ක කර ගනිමින් මෙම දෙපාර්ශ්වයම ක්‍රියා කරන අතර දේශපාලනඥයන් ගන්නාවූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම බොහෝවිට රාජ්‍ය සේවය මගින් සිදු කෙරෙයි. පවතින නීතීරීති චක්‍රලේඛන උල්ලංඝනය කරමින් රාජ්‍යය සේවකයාට ක්‍රියා කළ නොහැකි අතර දේශපාලනඥයා බොහෝ විට එම බැඳීම්වලින් නිදහස් වෙයි. මෙම පසුබිම තුළ දේශපාලන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට යාමේදී රාජ්‍ය සේවකයා පවතින නීතී රාමුව තුළ පිහිටා ක්‍රියා කළ යුතුවන අතර එම සීමා ඉක්මවා ගියවිට අවසානයේ නීතිය හමුවට යෑමට සිදුවන්නේද රාජ්‍ය සේවකයාටය.

වර්තමාන නිල ක්‍රමය

ජනතා සේවය සඳහා එකිනෙකට බැඳෙමින් ක්‍රියා කරන රාජ්‍ය සේවය හා දේශපාලනඥයා අතර පවතින්නේ වෙන් කළ නොහැකි සබඳතාවකි. දෙපාර්ශ්වයම එකම අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වීම මිස එකිනෙකා පරයා ක්‍රියාකරන්නට යෑම සුදුසු නොවන අතර දෙපාර්ශ්වය කිසියම් අවබෝධයකින් ක්‍රියා කිරීම අතිශයින් වැදගත්ය. පසුගියදා දිවුලපිටියේ සිදුවූ සිදුවීම මෙම අවබෝධය බිඳීයෑමේ ප්‍රතිඵලයකින් ඇති වූවකි. රාජ්‍ය සේවකයාට තම රාජකාරිය බලපෑම්වලින් තොරව නිදහසේ සිදු කිරීම සඳහා අවස්ථාව තිබිය යුතුය. එසේම ලැබෙන නිදහසින් අවංක ජනතා සේවයක් සඳහා කැපවීම රාජ්‍යය සේවකයාගේ යුතුකම හා වගකීමය. රාජ්‍යය සේවයේ ඉහළම තනතුරු පරිපාලන අංශයට අයත්ය. පරිපාලන සේවයේ ඉහළ තනතුර ජනපති ලේකම්ය. විධායක ජනපතිවරයාගේ ලේකම් තනතුර හෙබවීම රජ්‍ය සේවයේ වර්තමාන නිල ක්‍රමය අනුව යා හැකි ඉහළම තනතුරයි. අගමැති ලේකම්, අමාත්‍යාංශ ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් ලෙස රාජ්‍යය සේවයේ පරිපාලන තනතුරු පහළට බෙදී එන අතර මෙම තනතුරුවල‍ට අදාළ පත්වීම්, මාරුකිරීම් ඇතුළු තවත් කරුණු රැසක් හා දේශපාලනය හා බැඳී පැවතීම නිසා රාජ්‍ය සේවයේ විශාල පිරිහීමක් පසුගිය දශක කිහිපය තුළ ඇතිවිණි.

මෙරට රාජ්‍යය සේවයේ ආරම්භය බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඇදී යයි. දහඅට‍ වන සියවසේ අගභාගයේ ඉංග්‍රීසී පාලකයන් මෙරට මුහුදු බඩ ප්‍රදේශ යටත් කර ගැනීමෙන් අනතුරුව ඉන්දියාවේ මදුරාසියේ සිට එම ප්‍රදේශවල පරිපාලන කටයුතු සිදු කළේය.

ප්‍රායෝගික ගැටලු

එහිදී ඇතිවූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් 1803 වසරේදී පරිපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට වෙනම නිලධාරීන් පිරිසක් පත්කිරීමට සුදු අධිරාජ්‍යවාදීහූ පියවර ගත්හ. එය මෙරට සිවිල් සේවයේ ආරම්භය ලෙස සනිටුහන් වූ අතර, කන්ද උඩරට යටත් කර ගැනීමත් සමඟ සමස්ත දිවයිනේ පාලනය අතට ගත් ඔවුහු 1833 වසරේදී ලංකා සිවිල් සේවය ස්ථාපිත කළහ. පරිපාලන නිලධාරීන් 24 දෙනකුගෙන් මෙයට වසර 215 කට පමණ ඉහතදී ඇරඹි රාජ්‍ය සේවය නොයෙක් නම් ලබමින් මේ දක්වා පැමිණි අතර වර්තමානයේ ලක්ෂ 17 ක පමණ පිරිසක් ඊට අයත්ය. උඩරට යටත් කර ගැනීමෙන් පසු සුදු ජාතිකයන් පරිපාලනයේ පහසුව පිණිස උතුරු, නැගෙනහිර, දකුණ, බටහිර හා මධ්‍යම ලෙස පළාත් 05 කට බෙදා වෙන්කළ අතර එය වර්තමාන පළාත් 09 දක්වා වෙන් කරනු ලැබුවේ 1897 වසරේ දීය.

නිදහසින් පසු 1963 වසරේ මැයි මස 01 දින එතෙක් පැවැති සිවිල් සේවය අහෝසි කර, ලංකා පරිපාලන සේවය ඇති කළේය. පරිපාලන සේවයට අයඳුම් කිරීමට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා තිබීම, අවුරුදු 22-24 වයසේ පසුවීම, ශ්‍රී ලාංකික පුරවැසියකු වීම අනිවාර්ය සුදුසුකම් විය. කෙඩෙට් නිලධාරියකු ලෙස බඳවා ගෙන වසරක පුහුණුවක් ලබා දී ඒ.ජී.ඒ. තනතුරට පත්වීම් ලබාදීම එකල සිදු වූ අතර, එය සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම්වලින් තොරවිය. අදාළ පුහුණු කාලය තුළ රජයේ දෙපාර්තමේන්තු බොහොමයකට යොමුකර අත්දැකීම් ලබාදීමද එකල සිදු විය. දෙසතියක පමණ කාලයක් අධිකරණ කටයුතු සම්බන්ධව උසාවියට ගොස් දැනුවත්වීමටද අවකාශ සලසා දී තිබුණු අතර මේ සියල්ලෙන් අපේක්ෂා කළේ පිරිපුන් මහජන සේවාවාක් සඳහා සුදුසු නිලධාරියකු ගොඩනැගීමයි. අද වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම ආහෝසි වී ගොස් තිබෙන අතර පරිපාලන සේවයේ කිසිදා නොසිටි පිරිස්, දේශපාලන බල අධිකාරීයේ පූර්ණ අනුග්‍රහය හා ආශීර්වාදය යටතේ අමාත්‍යාංශ ලේකම් තනතුරුවල‍ට පත්වූහ.

දේශපාලනඥයන්ට පක්ෂ තිබේ. ඡන්දයෙන් පසු පක්ෂ බේද නොසලකා සියලු ජනතාවට එකසේ සලකන බව පැවසුවත් ඔවුන් අතිබහුතරයක් තුළ පාක්ෂිකයා කෙරෙහි වැඩි ළෙන්ගතු කමක් පැවතීම සාමාන්‍ය තත්ත්වයකි. ඊට හේතුව මහජන නියෝජිතයකු ලෙස පත්වීමේ පසුබිම තුළ පාක්ෂිකයන් විශාල කාර්යභාරයක් සිදු කිරීමය. එසේ වුවත් රාජ්‍ය සේවකයාට පාට පක්ෂ තිබිය යුතු නැත. ජනතාවගෙන් වැටුප් ලබන ඔහු ජාති, ආගම්, පක්ෂ, පාට බේදයෙන් තොරව ජනතා සේවයට කැපවිය යුතුය. දේශපාලන භූමිකාව දේශපාලනඥයත් රාජ්‍ය නිලධාරීයාගේ භූමිකාව රාජ්‍ය නිලධාරීයාත් හඳුනා ගැනීම ඉතා වටිනා කාරණයක් වන අතර අද එය තරමක් දුරට ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව කවුරුත් පිළිගත යුතුය. මෙයට දේශපාලනඥයා හා රාජ්‍ය නිලධාරීයා යන දෙකොටසම වගකිව යුතුය. රාජ්‍ය සේවකයාට කිසිවකුගේ හෝ අතකොළුවක් නොවී කොන්ද කෙළින් තබාගෙන රාජකාරී කළ හැකි පුද්ගලයකු වීමට නම් ඔහු හෝ ඇය තනතුරු ලාභ ප්‍රයෝජන පිණිස දේශපාලකයන් පසුපස නොයා යුතුය. අවාසනාවකට අද බොහෝ රාජ්‍ය නිලධාරීන් තුළින් ප්‍රකට වන්නේ මෙම අයහපත් ගති ලක්ෂණයය.

වත්මන් ක්‍රමය තුළ දේශපාලනයට පිවිසීමට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත. එහෙත් රාජ්‍ය සේවයට සුදුසුකම් අවශ්‍යයය. එසේ වුවත් දේශපලනඥයන් තම අවශ්‍යතා මත නුසුදුසු පුද්ගලයන්ට රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු පිරිනැමූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබෙයි. රාජ්‍ය සේවයේ වත්මන් අර්බුදයට එයද එක් ප්‍රධාන හේතුවකි. නියමිත පත්වීම් ක්‍රමයක්, විධිමත් උසස් වීම් ක්‍රියාවලියක්, පිළිගත හැකි මාරුවීම් පටිපාටියක් නැති තැන දේශපාලන හිතවත්කම් ඇති රාජ්‍ය නිලධාරීන් බඩ පිණුම් ගසත්දී අවංක රාජ්‍ය නිලධාරීයා කොන්වී යන තත්ත්වය සැවොම එක්ව පිටු දැකිය යුතුය.

කොමිෂන් සභා නිශ්ක්‍රීය කිරීම

ෆීලීක්ස් ඩයස් බණ්ඩාරනායක මහතා 1972 වසරේදී රාජ්‍ය ‍‍සේවා කොමිෂන් සභාව හා අධිකරණ සේවා කොමිෂන් සභාව නිශ්ක්‍රීය කරමින් සිදුකරනු ලබූ වැඩපිළිවෙළ සඳහා දේශපාලන මුහුණුවරක් ලබාදීම රාජ්‍ය සේවයේ පිරිහීමට විශාල ලෙස බලපෑවේය. පසුව රාජ්‍ය සේවකයන්ට දේශපාලන කටයුතු සඳහා සම්බන්ධවීමට අවකාශ සලසමින් හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් තීරණය ඊට උත්තේජනයක් සැපයීය. මේ ආකාරයෙන් රාජ්‍ය සේවයේ කලින් කලට කඩා වැටීමක් දක්නට ලැබුණු අතර අද පවතින රාජ්‍යය සේවයට එම නම සුදුසුද යන්න පිළිබඳව දෙවරක් කල්පනා කර බැලිය යුතු තරමට ප්‍රශ්නය උග්‍රවී තිබේ.

වර්තමානයේ රට පවතින්නේ ආර්ථික අතින් අර්බුදයකය.එම තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ ප්‍රමුකතම කාර්යභාරය පැවරෙන්නේ දේශපාලනඥයන්ට හා රාජ්‍යය නිලධාරීන්ටය. පාලකයන් හා නිලධාරීන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙර අන් කවරදාටත් වඩා අද මතුව තිබේ. නිදහස් ලැබූ දා පටන් පාලකයන් හා නිලධාරීන් අතර ගැටුම් ඇතිවූ අතර මෙම දෙපාර්ශ්වය වෙතින්ම හොඳ හා නරක වෙන් වෙන් වශයෙන් රටට සිදුව ඇත. පාර්ලිමේන්තුව මගින් ගන්නා තීන්දු තීරණ ජනතාවට ගෙනයන නිලධාරීන් කාර්යක්ෂම නොවුණහොත් රටේ ඉදිරි ගමන්මඟ අඩාල වනු නිසැකය. මේ නිසා නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව හා මහජන සම්බන්ධතාව රටක ගමන් මඟ තීරණය කෙරෙන්නාවූ ප්‍රබලතම සාධකයකි. නිල බලය උපයෝගි කරගනිමින් පෞද්ගලික අභිමාතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම නොවන්නේය.

ජනතාව පෙළීම

රාජ්‍යය ආයතනයකට ‍ගොස් රාජකාරියක් කර ගැනීම ඉතා අසීරුබව අද බහුතර ජනතා මතයයි. පහළම නිලධාරීයාගේ සිට ඉහළම නිලධාරීයා දක්වා ජනතාව පෙළන බවට මතයක් සමාජ ගතව තිබෙන අතර එය පදනමක් නොමැතිව ගොඩනැගුණු කතාවක් ලෙස බැහැර කළ යුත්තක් නොවේ. අතිශෝක්තියක් ඒ තුළ ඇතත් ජනතාව නගන සියලු චෝදනා බැහැර කළ නොහැක. ගින්නක් නොමැතිව දුමක් නොනඟින බව කියන පැරැණි කියමන මෙහිදී සිහිපත් කිරීම වටී. මේ පිළිබඳ රාජ්‍යය සේවකයා ගැඹුරින් අධ්‍යයනය කර වැරැදි ඇත්නම් නිවැරැදි කරගත යුතුය. රාජ්‍ය සේවය නොමැතිව මෙරට පරිපාලන ක්‍රියාවලිය සිදුකළ නොහැකිය. ඊට විකල්පයක්ද නොමැත. මේ නිසා එහි ඇති අඩුපාඩු මඟහරවා ගැනීම ඉතා වැදගත්ය. අනෙක් පසින් දේශපාලකයන්ටද අද ජනතාවගෙන් එල්ල වන්නේ සුබවාදී ප්‍රතිචාර නොවේ. පාලකයන්ට වංචා, දූෂණ ඇතුළු නොයෙක් චෝදනා එල්ල වෙයි. මෙම තත්ත්වයෙන් දේශපාලනය මුදා ගැනීම දේශපාලකයන්ගේ වගකීමය. මෙම දෙපාර්ශ්වය තම තමන්ගේ අඩුපාඩු නිවැරැදි කර ගනිමින් එක්ව ගමනක් යන්නේ නම් රට මෙයට වඩා උස් තැනකට ඔසවා තැබීම අසීරු කටයුත්තක් නොවන්නේය.

නව අදහස දක්වන්න