ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අයර්ලන්තය පරදවති | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අයර්ලන්තය පරදවති

ෆවුස් මොහොමඩ්

කාන්තා එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය දෙවැනි තරගයෙන් අයර්ලන්තයට එරෙහිව ලකුණු 146ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ සමත්විය.

එන්.සී.සී. පිටියේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ ප්‍රසාදිනී වීරක්කොඩි සහ දිලානී මනෝදරා අර්ධ ශතක රැස් කරමින් සිය කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 239ක් ඉනිමක් කරා ගෙන යාමට සමත්වූහ. අනතුරුව ජයග්‍රහණය හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත පිලේ පිතිකාරිනියන් දැඩි පීඩනයකට හසුකරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඉනෝෂි ප්‍රනාන්දු ඇතුළු පන්දු යවන්නියන් ප්‍රතිවාදී ඉනිම ඕවර 36.1කදී ලකුණු 93කට සීමා කළහ.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් පසුව නිපුනි හංසිකා සමග එක්වූ ප්‍රසාදිනී තුන්වැනි කඩුල්ලට ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූ අතර ඒ කාලය තුළ සිය එක්දින තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළාය. පන්දු 81කට මුහුණදෙමින් හතරේ පහර 8ක් එල්ල කළ ප්‍රසාදිනී ලකුණු 61කට දැවී ගියාය. අනතුරුව ඉනිම ගොඩනැගීමේ වගකීම කරට ගත් දිලානී මනෝදරා නොදැවී ලකුණු 53ක් රැස් කළාය. එය ඇගේ එක්දින තරග දිවියේ මංගල අර්ධ ශතකය වීම විශේෂත්වයකි. පන්දු 60ක් වැයවූ ඇගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත් විය.

අවසන් මොහොතේ පිටියට පැමිණි වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී පන්දු 11කදී හතරේ පහර 4ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 21කි.

අයර්ලන්ත ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 4ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස සිසිලියා ජොයිස් දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට චමරී අතපත්තු සමත්වීමෙන් පසුව විශිෂ්ට පන්දු යැවීමක් පෙන්නුම් කළ ඉනෝෂි ප්‍රනාන්දු අයර්ලන්ත ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 27ක් වෙද්දී තවත් පිතිකාරිනියන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවුවාය. පෙරේදා සිම්බාබ්වේ පිලට එරෙහිව අයර්ලන්තය ජයගත් තරගයේදී ලකුණු 63ක් රැස් කළ කිම් ගාර්ත්ට ඊයේ තරගයේදි ලබාගත හැකිවූයේ ලකුණු 4ක් පමණි.

ඉනෝෂිට අනගි සහයක් ලබා දුන් ශ්‍රීපාලී වීරක්කොඩි සහ නායිකා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවාලූහ. අවසන් මොහොතේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය ප්‍රමාද කළ අගපෙළ පිතිකාරිනිය ක්ලෙයාර් ශිලින්ටන් නොදැවි ලකුණු 36ක් රැස් කළාය. එය අයර්ලන්ත ඉනිමේ පිතිකාරිනියක ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය.

ශ්‍රී ලංකා පිල සහභාගි වන මීළඟ තරගය සිම්බාබ්වේ පිල සමග 11වැනිදා එන්.සී.සී.පිටියේදීම පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පිල - 339/8 (ඕවර 50) ප්‍රසාදිනී විරක්කොඩි 61, දිලානී මනෝදරා නොදැවී 53, නිපුනි හංසිකා 30, උදේශිකා ප්‍රබෝධනී 21 (ඉසබෙල් ජොයිස් 39/4, ගැබී ලුවිස් 41/2)

අයර්ලන්ත පිල - 93 (ඕවර 36.1) ක්ලෙයාර් ශිලින්ටන් නොදැවී 36 (ඉනෝෂී ප්‍රනාන්දු 21/3, ඉනෝකා රණවීර 16/2, ශ්‍රීපාලී වීරක්කොඩි 37/2)

සෙසු තරග ප්‍රතිඵල

ඉන්දියාවට කඩුලු 9ක ජයක්

තායිලන්ත පිල සමග සී.සී.සී. පිටියේ පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත පිල ඕවර 29.1කදී ලකුණු 55කට දැවී ගිය අතර ඉන්දීය පිල එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේ ඕවර 12.4කදීය.

තායිලන්තය - 55 (ඕවර 12.4) මන්සි ජොසී 4/3, දීප්ති ෂර්මා 8/2, පූනම් යාදෙව් 10/2, රාජෙස්වරී ගයාක්වාඩ් 18/2

ඉන්දියාව - 59/1 (ඕවර 12.4) තිරූෂ් කාමිනි නොදැවි 24යි.

දකුණු අප්‍රිකාවට දෙවැනි ජය

ස්කොට්ලන්තයට එරෙහිව වෙළෙඳ සේවා පිටියේ පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිල ඕවර 50කදී සියලුදෙනා දැවී රැස් කළ ලකුණු 142 හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ඕවර 33.1කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ස්කොට්ලන්තය - 142 (ඕවර 50) කාරී ඇන්ඩර්සන් 50 (ශබ්නිම් ඉස්මායිල් 30/3, අයබොන්ගා කාකා 9/2, ඩේන් වැන් නයිකර්ක් 21/2)

දකුණු අප්‍රිකාව - 143/4 (ඕවර 33.1) ච්ලෝයි ට්‍රයොන් නොදැවී 45, ට්‍රීෂා චෙට්ටි නොදැවි 35, ලෝරා වොල්වාර්ඩ්ට් 35 (ක්‍රිස්ටි ගෝර්ඩ්න් 39/2)

පාකිස්තානයට ජය

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පී.සරවනමුත්තු පිටියේ පැවැති තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානු ක්‍රීඩිකාවෝ සමත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු 227ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට ඕවර 49.3කදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 160ක් පමණි.

පාකිස්තානය - 227 (ඕවර 50) බිස්මා මාරූෆ් 35, අයේෂා සෆාර් 34, රාබියා ෂා 34, ආලියා රියාස් 31 (රුමානා අහමඩ් 40/3, සල්මා කාතුන් 37/2, කදීජා කුබ්රා 43/2)

බංග්ලාදේශය - 160 (ඕවර 49.3) නිහාර් සුල්තානා 41, සන්ජිදා ඉස්ලාම් 34 (ගුලාම් ෆාතිමා 28/3, සානා මීර් 19/2, නෂ්රා සන්දු 27/2) 

නව අදහස දක්වන්න