බස නසන නාළිකා | දිනමිණ

බස නසන නාළිකා

 දැයෙකැ පණ ඒ දැය වහරන බස යි. සිංහලය අපේ දැයේ පණ යි. බසෙකැ පණ එහි වියරණය යි. වියරණය නසන්නෝ දැය ද නසති. වියරණයෙහි පදනම, අබිමන ඒ බසේ නිවැරැදි උක්තාඛ්‍යාත සම්බන්ධය යි. මේ පිළිබැඳි වැ අපේ පැරණි උගත්තු ලියූ හ, අපේ සලමෙවන් රජතුමාණෝ ද ලියූ හ. සිය සියබස් ලකරෙහි උක්තාඛ්‍යාත සම්බන්ධය හෙවත් “කිරියකරු පද සබඳ” බිඳින්නවුනට එතුමෝ “කුර අං නැති ගොනුන්” යන උපාධිය පිරිනැමූ හ! ගොනකු ගේ අබිමන උගේ කුර සහ අං යැ! එය නැති වීම ඌට නිගරුවෙකි!

අපේ සෑම විද්‍යුත් මාධ්‍යයෙකැ මැ අරක් - ගත් ඊනියා නිවේදකයෝ තෙල උපාධියට ඉතා නිස්සෝ යි! මොහු රුවින් නම් ශ්‍රේෂ්ඨයෝ යි, නැණින් නම් පුහුවෝ යි! කෑල මල් සේ යැ!

රූපවාහිනියෙහි පුවත් යටින් දිවෙන් (News Line) තීරුවෙහි ඇති දැයින් සියයට අනූවක් මැ අකුරු දොස්, පද දොස්, වියරණ දොස් යන තුන් දොසින් මැ කිපුණේ යි! තුන් දොස් කිපුණෙන් ඒ පුවත් තීරුව දෝෂයෙන් සපුරා දූෂිත, අසාධ්‍ය ‍රොවින් ගිලන් වූයේ යි! එ බඳු “ගඳ ගස්වන” වැකි කිහිපයෙක් මෙ සේ යැ;

(1) “අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරනු ලබයි.”

(2) “.......... කියා සිටියේ ය.”

(3) “.........ප්‍රකාශ කරමින් කියා සිටියේ.........”

(4) “ඔබගේ ප්‍රාර්ථනය පැතුමක් වේ වා!”

(5) “කියා සිටින්නේ ..........”

(6) “...............කුරුණෑගල පොලීසිය පරීක්ෂණ පවත්වමින් යනවා”

(7) “දඹුල්ල.............. විදුහලේ සජීවි ව පටිගත කළ.........”

(8) “සජීවි විකාශය”

(9) “............... සහතික ප්‍රධානය.”

(10) “වේදිකාව මත සිටයි ගී ගයන්නේ.”

(11) “කාළ සීමාව තුළ”

(12) “වැඩ සටහන තුළින්”

(13) “ප්‍රවෘත්ති පත්‍රයේ ප්‍රධාන සිරස්තලය තුළින්”

ආදි අපභ්‍රංස විද්‍යුත් මාධ්‍ය අරක් ගත් බහු-බූතයන් ගේ පාණ්ඩිත්‍යයේ උදාන වාක්‍ය වේ! ඒ බැවින්;

“ලබ්බෝ”,

“සිටිටෝ”,

“තුල්ලෝ”,

“මත්තෝ”,

“නපුංසකයෝ”,

යනුයෙන් අද පාසල් දරුවෝ මොවුන් හඳුන්වති. වාසනාවෙකි! මහ ජයෙකි! වියැ යුත්තෙක් මැ යැ! එක් නාළිකාවෙකැ තුරුණු නි‍වේදකයෙක්;

“......හවුසින් ස්කීම් එකේ හවුසක් ඉල්ලුම් කරන්නන්......”

යනු කීයේ යැ! විදෙස් රටෙකැ නම් මෙ බඳු “අමනයන්” වහා මැ තනතුරින් නෙරපනු නියති! එහෙත්, අහෝ! අප රටට ලබා ඇති දසාවෙකැ රඟ!

ඉහතින් පෑ ඉපිටුම් තව ද තහවුරනුව තවත් “ඔල්පමොරොන්දම්” කියුම් කිහිපයක් මූලාශ්‍රය ද සමඟැ පහතැ දක්වම් හ.

(1) “රත්නපුරේ කඳු නයා යනවා”

(2010 මැයි මසැ 31 වැනි දා රාත්‍රී 8.00 ප්‍රවෘත්ති ප්‍රකාශය)

(2) (අ) 2010 වසරැ අය - වැය කතාවේ දී මුදල් ඇමැති ක්‍රිස්තු වර්ෂ “2010” අය - වැය ගැනැ කීයේ; “විස්සයි දහය” යනුයෙනි. “2012” ඔහුට විස්සයි දොළහ” යි!

(ආ) ඒ වසරයෙහි මැ “ix” ඔහුට රෝම ඉලක්කම් නවය නො ව “අයි එක්ස්” යැ! “xv” පසළොස නො ව “එක්ස් වී” යැ!

(3)(අ) ශ්‍රී ලංකාවේ ඇත්තේ “කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්” නො වැ “කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙකි”! එ බැවින් 2016 දෙසැම්බර මසැ 31 වැනි දා “රූපවාහිනී නාළිකාවක රාත්‍රී පුවත් ප්‍රකාශයෙන් තෙල දෙපාර්තමේන්තුව “මොකක් දෝ ගුණයක් කළ බව” රටට මැ හෙළි කැරිණි!

(ආ)එහි මැ “සෙබළුන් දෙදෙනෙකු මිය යයි” යනුයෙන් පවසමින් තෙල නිවේදකයාට “කුර-අං” ඇති බව එළියේ මැ රටට දැක්විණි!

(4) 2017 ජනවාරි මසැ 02 වැනි දා තවත් රූපවාහිනී නාළිකාවක News Line හි සවසැ 3.25 ට:

“සේවකයන් වැඩ අරඹයි”. යනුයෙන් “ගොන් උපාධියට” සිය සුදුසුකම් තව ද තැහැවිරි යැ! (තහවුරු කෙළේ යි!)

(5) (අ) 2017 ජනවාරි මසැ 04 වැනි දා රූපවාහිනී නාළිකාවක News Line මඟින් “ආකර්ෂණීය” යන නිවැරැදි වදන රටේ දරුවන් ගේ ද දෑසට නුහුරු කෙරෙමින් “ආකර්ශනීය” යනුයෙන් වැරැදියට ඇරැ - පෑ යැ!

(ආ) එහි මැ සවසැ 7.09 ට පළ කැරුණු වෙළෙඳ දැන්වීමෙකින් “අනුකරණ වලට රැවටෙන්න එපා” යනුයෙන් විසුළු සදොස් පද බෙදුමෙකින් රටට සිනහ සැපැයී යැ!

(6)2017 ජනවාරි මසැ 04 වැනි දා “රූපවාහිනී නාළිකාවක රාත්‍රී 9.18 ට News Line මඟින්:

“.............. පාරිභෝගිකයාට අලෙවි කල හැකි ද?” යන පැනයෙන් “බූත” ණ - න-ළ - ල ක්‍රමයක් ඉගැන්විණි!

(7) 2017 ජනවාරි මසැ 05 වැනි දා රූපවාහිනී නාළිකාවක දාවල් ප්‍රවෘත්ති විකාශනයේ දී, එහි News Line හි;

“සහල් අනායනයේ දී රජයට සිදු වූ පාඩුවක්” රටට හෙළි කැරිණි. මේ “අනායනය” යන වදන ලොවේ කවර බසෙකැ වදනෙක් දැ යි අපි නම් නො දනුම් හ!

(8) 2017 ජනවාරි මසැ 07 වැනි දා රූපවාහිනී නාළිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයෙහි:

“විසි දෙදෙනෙකු තුවාල ලබයි” - යනුයෙන් පවසමින් තෙල නිවේදකයා “ගොන් උපාධියට” තමන් නියතින් මැ නිස්සකු බව ලොවට හෙළි කෙළේ යැ!

(9) (අ) සෑම දිනයෙකැ මැ එක්තරා රූපවාහිනී නාළිකාවකින් ප්‍රචාරය කැරෙන දැන්වීමක:

“පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි” යනුයෙන් ප්‍රචාරය කෙරෙමින් දරුවනුදු සිය “ගොන් නඩයට” මැ ඇදැ-ගන්නට තැත් කරයි!

(ආ) තවත් රූපවාහිනී නාළිකාවක එක්තරා නාට්‍යයක් ප්‍රචාරය කැරෙන විටැ දැක්වෙන දැන්වීමෙකින් (සවසැ 7.30) අපේ රටේ අරුම පුදුම වෛද්‍යවරුන් විශේෂයක් ඇති බව දක්ව යි. මෙසේ:

“විශාලතම වෛද්‍යවරුන් චැනල් කරන...”

මෙය දකින්නන් ගේ ඉළ ඇට සුරක්ෂිත නොවන බව නම් සහතික යි!

(ඇ) 2017 ජනවාරි මසැ 03 වැනි දා රූපවාහිනී නාළිකාවක මැ (සවසැ 6.30) News Line මඟින් අමුතු අබුතු වදනක් සිංහල භාෂාවට එක් කැරුණේ මෙ‍ සේ යි! “කිසිඳු”

(10) 2017 ජනවාරි මසැ 07 වැනි දා රූපවාහිනී නාළිකාවක රාත්‍රි 8.00 ප්‍රවෘත්ති ප්‍රකාශයෙහි News Line මඟින් අධිකරණයට අපහාස කැරුණේ මෙසේ යි:

“අධිකරණ නියෝග නොතකා හම්බන්තොට විරෝධතා විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර....”

විරෝධතා දැක්වීම ආදී කලහකාරී ක්‍රියා නැවැත්වීමට අධිකරණ නියෝගයක් නිකුත් කැරුණු බව අපි දනුමු. එහෙත් තෙල වැකියෙන් දැක්වුණේ විරෝධතා විසුරුවා හැරීම අධිකරණ නියෝග නොතකා හැරීමෙක් බව යි නොහොත් විරෝධතා පැවැත්වීම සහ කලහකාරී ලෙසැ හැසිරීමට අධිකරණය නියෝග කළ බව යි!

සෑම විද්‍යුත් නාළිකාවක් මැ බස මරයි! එ බැවින් එය නරඹන, අසන අපේ දරුවන් ගේ ඇසේ, හිසේ තැන්පත් වන්නේ වැරැදි වහර මැ යි! එයින් දරු පරපුර බස නොදත්, ඉන් මැ සිය අදහස් ඒ අයුරින් මැ අනුනට දැන්වීමට නොපොහොසත් පරපුරක් බවට ඉඳුරා මැ පත් වෙයි. ජාතිය ද වැනැසේ! යහ පාලනයක් සදොස්, හඩු බසෙකින් නොකළ හැකි යි! එ බැවින් මේ මහා ජාතික විනාශය නැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් දැන්වත් ඉක්මන් පියවර ගැනීමට අපි එතුමන් ඉ- හරසරින් අරියම්හ!

කුමරතුඟු හෙළ හවුලේ
නයු
මහාචාර්ය රිසිමන් අමරසිංහ

නව අදහස දක්වන්න