යුද හමුදාව-එන්.සී.සී පළමු ජය ලබයි | දිනමිණ

යුද හමුදාව-එන්.සී.සී පළමු ජය ලබයි

නිරෝෂාන් ප්‍රියංකර
සචිත්‍ර සේරසිංහ

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේදී තම පළමු ජයග්‍රහණ වාර්තා කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජය හා එන්.සී.සී ක්‍රීඩා සමාජය සමත් විය. මේ තරගවලදී හලාවත ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි කොළඹ පිල පරදවමින් පෙරමුණට පිවිසි අතර එස්.එස්.සී පිල රාගම පරාජය කරමින් දෙවැනි ස්ථානයට පත් විය.

සුපිරි අට වටයේ පළමු ද්විත්ව ශතකය මෙන්ම ‘ඒ’ කොටසේ තරගාවලයේ දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ සමත් වීම පසුගිය සතියේ කැපී පෙනුණි. තරගාවලියේ පළමු ද්විත්ව ශතකයද හලාවත පිලෙන්ම වාර්තා වී තිබීම විශේෂත්වයකි. එය ෂෙහාන් ජයසූරිය විසින් වාර්තා කර තිබිණි.

මෙවර තරගාවලියේ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන හලාවත ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාර රාගම පිලට එරෙහිව කඩුලු 10ක් බිඳ දමමින් කඩුලු එකතුව 77 දක්වා වැඩිකර ගත්තේය.

පළඟ ශූරතාවට තරග වදින බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන් කරුණානායක (926) පිතිකරුවන් අතර ඉදිරියෙන් පසුවන අතර සුපිරි අට ට තරග වදින කණ්ඩායම් අතර පිතිකරුවන්ගෙන් ඉදිරියෙන් පසුවන්නේ සධීර සමරවික්‍රමය. ඔහු ලකුණු 871ක් රැස්කරගෙන තිබේ.

යුද හමුදාවට ඉනිමක ජයක්

ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව එස්.එස්.සී පිටියේ පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 30ක ජයක් අත්කර ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම ලකුණු 174කට සීමාකළ යුද හමුදා පිල පළමු ඉනිමට ලකුණු 383ක් රැස් කළේය. ලකුණු 209ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරැඹු ද්‍රවිඩ සංගම් පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 179ක් පමණි.

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 174 (ඕවර 43) චාමික කරුණාරත්න 61 (යසෝධ මෙන්ඩිස් 55/4, සීකුගේ ප්‍රසන්න 46/3) සහ දෙවැනි ඉනිම -179 (ඕවර 52.2) මනෝජ් සරත්චන්ද්‍ර 52, චාමික කරුණාරත්න 50 (නලින් ප්‍රියදර්ශන 34/3, යසෝධ මෙන්ඩිස් 52/3)

යුද හමුදා පළමු ඉනිම - 383 (ඕවර 107.1) ලියෝ ෆැන්සිස්කෝ 77, සීකුගේ ප්‍රසන්න 69, ඩිල්ෂාන් ද සොයිසා 59, ලක්ෂිත මධුෂාන් 53 (ජීවන් මෙන්ඩිස් 97/5, රමිත රඹුක්වැල්ල 117/3)

එන්.සී.සී කඩුලු 6කින් දිනයි

එන්.සී.සී පිල සුපිරි අට වටයේ පළමු ජය වාර්තා කළේ කෝල්ට්ස් පිලට එරෙහිව කටුනායක පැවැති තරගයේදීය. ලසිත් ඇඹුල්දේණිය කඩුලු 10ක් දවා ගනිමින් එන්.සී.සී පිල ජයග්‍රහණය කරාගෙන ගියේය.

කෝල්ට්ස් පළමු ඉනිම - 192 (ඕවර 54) (ලසිත් ඇඹුල්දෙණිය 63/6) සහ දෙවැනි ඉනිම - 222 (ඕවර 69.5) සධීර සමරවික්‍රම 64 (ජෙහාන් මුබාරක් 29/4, ලසිත් ඇඹුල්දෙණිය 62/4)

එන්.සී.සී. පළමු ඉනිම - 307 (ඕවර 80.3) ඇන්ජලෝ පෙරේරා 71, අනුක් ප්‍රනාන්දු 62, තිමිර ජයසිංහ 54, රමිඳු ද සිල්වා 51 (දිල්රුවන් පෙරේරා 82/6, නිසල තාරක 87/3) සහ දෙවැනි ඉනිම - 111/4 (ඕවර 23.1)

හලාවතට දැවැන්ත ජයක්

හලාවත ක්‍රීඩා සමාජය සුපිරි අට වටයේ සිවුවැනි ජය වාර්තා කළේ සී.සී.සී පිලට එරෙහිව ලකුණු 366කිනි. මෙය සුපිරි අට වටයේදී හලාවත ලැබූ සිවුවැනි ජයග්‍රහණයයි.

මග්ගොන පැවැති තරගයේ හලාවත පළමු ඉනිමට රැස්කළ ලකුණු 213ට පිළිතුරු ලෙස සී.සී.සී පිල ලබාගත්තේ ලකුණු 190ක් පමණි.

සචිත්‍ර සේරසිංහ වාර්තා කළ ද්විත්ව ශතකය හේතුවෙන් හලාවත දෙවැනි ඉනිම කඩුලු 9කට ලකුණු 461ක් විය. පන්දු 293කට මුහුණදුන් සචිත්‍ර හතරේ පහර 21ක් සමගින් ලකුණු 207ක් රැස්කළ අතර විදුර අධිකාරි (101) සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 227ක සබඳතාවක්ද ගොඩනැගීය.

සචිත්‍රගේ පළමු පෙළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය සටහන් වෙයි.

ලකුණු 485ක ඉලක්කය හඹාගිය සී.සී.සී පිලට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 118ක් පමණි. ඉනිම බිඳ දැමූ මලින්ද පුෂ්පකුමාර කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

හලාවත පළමු ඉනිම - 213 (ඕවර 55) (ළහිරු ගමගේ 65/4) සහ දෙවැනි ඉනිම - 461/9 (ඕවර 124.2) සචිත්‍ර සේරසිංහ 207, විදුර අධිකාරි 101 (අශාන් ප්‍රියංජන් 57/3)

සී.සී.සී පළමු ඉනිම - 190 (ඕවර 53.5) මාධව වර්ණපුර 71 (අරෝෂ් ජනෝද් 19/3, මලින්ද පුෂ්පකුමාර 51/3) සහ දෙවැනි ඉනිම - 118 (ඕවර 27.1) (මලින්ද පුෂ්පකුමාර 58/7)

එස්.එස්.සීට කඩුලු 8ක ජය

රාගම පිල සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් එස්.එස්.සී පිල කඩුලු 8ක ජයක් අත්කර ගත්තේය.

රාගම පළමු ඉනිම - 220 (ඕවර 68.3) අක්ෂු ප්‍රනාන්දු 94 (විමුක්ති පෙරේරා 33/5, කසුන් මධුසංක 51/3) සහ දෙවැනි ඉනිම - 201 (ඕවර 56.1) ළහිරු මිලන්ත 63, චතුර පීරිස් 59 (සචිත්‍ර සේනානායක 46/3)

එස්.එස්.සී. පළමු ඉනිම - 389 (ඕවර 122.5) සචිත්‍ර සේනානායක 77, කෞෂාල් සිල්වා 74, තරිඳු රත්නායක 66. සහ දෙවැනි ඉනිම - 35/2 (ඕවර 4.4)

නව අදහස දක්වන්න