කාක්කපල්ලිය දුම්රිය ස්ථානය ඩෙංගු මදුරු ආකරයක් | දිනමිණ

කාක්කපල්ලිය දුම්රිය ස්ථානය ඩෙංගු මදුරු ආකරයක්

පුත්තලම සමූහ වාර්තාකරු - ඩබ්.සී.බී.ප්‍රනාන්දු
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දුම්රිය ස්ථානය අවට පරීක්ෂා කරමින්

දින 14ක් ඇතුළත පිරිසුදු කර වාර්තාවක් ලබාදෙන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් නියෝග

හලාවතට නොදුරු කාක්කපල්ලිය දුම්රිය ස්ථානය සහ ඒ අවට භූමිය ඩෙංගු මදුරුවන් බෝකරන ප්‍රධාන ස්ථානයක් බවට හඳුනා ගෙන ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවී ඇති ස්ථාන සහ ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ ඇති අපිරිසුදු ස්ථාන දින 14ක් ඇතුළත පිරිසුදු කර වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් කාක්කපල්ලිය දුම්රිය ස්ථානාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමකට එම දුම්රිය ස්ථානය හා ඒ අවට පවතින බව කියන මෙම අවාසනාවන්ත තත්ත්වය දැකගැනිමට හැකිවී ඇත්තේ ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ ඇති රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් යටතේ ඉහත සදහන් කාක්කපල්ලිය දුම්රිය සථානයද පරීක්ෂා කළ අවස්ථාවේය.

එම වැඩ සටහන යටතේ මෙම දුම්රිය ස්ථානය සහ ඒ අවට පරීක්ෂා කළ මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන්ට දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සෙසු ගොඩනැඟිලි ඒ ආශ්‍රිත භූමි ඩෙංගු මදුරුවන් බෝකරන ප්‍රධාන ස්ථාන බවට හඳුනා ගැනීමට හැකිවී තිබේ. හලාවත ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ඩී.එස්.අමරසිරි, හලාවත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.කේ.අතපත්තු මහත්වරුන්ගේ උපදෙස් පරිදි හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ජේ.එම්.වජිර, ලක්මාල් ගුණසේකර, ඒ.එම්.ඩී.සී.බාලසූරිය, ඒ.එම්.ඩී.සී.අධිකාරි නිලධාරීහු මෙම සෝදිසි මෙහෙයුම සිදු කළහ.

නව අදහස දක්වන්න