නාත්තණ්ඩියේ තරුණයන්ට වොලිබෝල් ක්‍රීඩාපිටියක් | දිනමිණ

නාත්තණ්ඩියේ තරුණයන්ට වොලිබෝල් ක්‍රීඩාපිටියක්

මිහිර විජේසේකර

නාත්තන්ඩිය ප්‍රදේශයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පසුගිය කාලසීමාව තුළ බිහිවිය. බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ජයග්‍රහණයන් කරන පියනැගුවේ අවම පහසුකම් මධ්‍යයේය.

එමෙන්ම ගම්බද ප්‍රදේශවල පහසුකම් සහිත වොලිබෝල් ක්‍රීඩාංගණ නොමැතිකමින් බොහෝ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා මුවහත් කර ගැනීමට මහත් බාධාවක් විය.

පවතින තත්ත්වය හමුවේ විවිධ ක්ෂේත්‍ර සඳහා සිය අතහිත ලබාදෙන සමාජ සේවකයකු වන ව්‍යාපාරික උපුල් හේරත් මහතාගෙන් මැද නාත්තන්ඩිය විමුක්ති ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් වොලිබෝල් ක්‍රීඩා පිටියක අවශ්‍යතාව සඳහන් කිරීමෙන් පසු සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ හතරක වියදමින් දිවා රාත්‍රී ක්‍රීඩා කළ හැකි අංගසම්පූර්ණ වොලිබෝල් ක්‍රීඩාංගණයක් පිළිසකර කර දීමට කටයුතු කළේය. ක්‍රීඩාංගණය විවෘත කිරීම සිදුවූයේ නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භ ක්‍රීඩාගුරු දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

උපුල් හේරත් මහතා සිදුකළ මහඟු සත්කාරයට තුති පිදීමක් ලෙස විමුක්ති ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් විසින් උපහාර තිළිණයක් ද ඒ මහතාට පිරිනැමීය.

වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ධම්මිස්ස විද්‍යාලයේ විශ්‍රාමික ක්‍රීඩා ගුරු දිසානායක මහතාට ද විශේෂ උපහාර තිළිණයක් උපුල් හේරත් මහතා විසින් මෙම අවස්ථාවේදී පිරිනමන ලදී.

නව අදහස දක්වන්න