මුහුදේ නාමින් සිටි චන්න සහ තවත් අයෙක් ගසා ගෙන ගියා | දිනමිණ

මුහුදේ නාමින් සිටි චන්න සහ තවත් අයෙක් ගසා ගෙන ගියා

අම්බලන්ගොඩදී මුහුදේ ගිලී මියගිය තරුණයාගේ මිතුරා මරණය පරික්ෂණයේ දී සාක්ෂි දෙයි

අපි මාදුගගේ සංචාරය කොට එහිදීම දවල් කෑම ගත්තා.ඉන් පසු අපේ කණ්ඩායම මුහුදේ නාන්න කථා කරගෙන අම්බලන්ගොඩ තානායම පිටුපස මුහුදට ගියා.මියගිය චන්න සහ තවත් නම දෙනෙක් මුහුදේ නාමින් සිටියා.ඒ අතර මිතුරියන් පස් දෙනෙකුත් මිතුරන් සිවු දෙනෙකුත් සිටියා.මමත් තවත් කීප දෙනෙක් සමඟ මුහුදු වෙරළේ සිටින විට මම දුටුවා මුහුදේ නාමින් සිටි චන්න සහ තවත් අයෙක් මුහුදේ ගසා ගෙන යනවා.චන්න මුහුදේ ඈතට ඇදී ගොස් මුහුදේ ගිලී නොපෙනී ගියා යැයි මුහුදේ ගිලී මියගිය තරුණයකුගේ මරණය වෙනුවෙන් පැවති මරණ පරික්ෂණයේදී සාක්ෂි දුන් ලක්මාල් කසුන් ධනුෂ්ක 23නැමති අය කියා සිටියේය.

මෙම අනතුරින් මියගියේ මීගමුව,කට්ටුව,හලාවත පාරේ අංක 263-6 ඒ බී යන ලිපිනයේ පදිංචිකරුවක් වන ෂෙහාන් චන්න ඇන්ටනි නැමති විසිපස් හැවිරිදි තරුණයෙකි.

ඔහුගේ මරණ පරීක්ෂණය වතුගෙර හදිසි මරණ පරික්ෂක කරුණාසේන මලවිගේ මහතා විසින් බලපිටිය රෝහලේදී පවත්වනු ලැබීය. එහිදී තව දුරටත් සාක්ෂි දුන් ලක්මාල් කසුන් ධනුෂ්ක නැමැති අය මෙසේද කියා සිටියේය.අපි සියලුම දෙනා මීගමුවේ පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටින හා සේවය කොට අස්ව ගිය මිතුරු මිතුරියන් පිරිසක්'.අපේ සංචාරයට දහහතර දෙනෙක් සහභාගී වුණා.අපි වෑන් රථයකින් සහ මෝටර් රථයකිනුයි මේ ගමන ගියේ.ඉකුත්දා මීගමිවෙන් පිටත් වී දහවල් වන විට මාදුගඟ අසලට පැමිණියා.අපි මාදු ග‍ඟේ සංචාරය කොට ඒ අසලදීම දවල් කෑම ගෙන මුහුදේ නාන්න කියලා අම්බලන්ගොඩ තානායම පිටුපස මුහුදට ගියා.මම නාන්න මුහුදට බැස්සේ නැහැ.අපිට පීනන්නත් බැහැ.මම තවත් මිතුරන් කීප දෙනෙක් සමඟ මුහුදු වෙරළටවී සිටියා.චන්න සහ තවත් අට දෙනෙක් මුහුදේ නාමින් සිටියා.එසේ නාමින් සිටින අතර චන්න සහ තවත් මිතුරෙක් මුහුදේ ගසා ගෙන යන්න වුණා.චන්න මුහුදේ ඈතට ගසාගෙන ගොස් මුහුදේ ගිලී නොපෙනී ගියා.එවිට අපි කෑ ගසන්න පටන් ගත්තා.එවිට එම ස්ථානයට පැමිණි තරුණයන් සිවු දෙනෙක් ‍මුහුදට බැස චන්න ගැන සොයන්න පටන් ගත්තා.නමුත් ඒ අයට චන්න සොයා ගන්න බැරි වුණා.ඊට පසුව වෙනත් තරුණයන් දෙදෙනක් මුහුදට බැස චන්න සොයා ගෙන ඔහු මුහුදු වෙරළට රැගෙන ආවා.පසුව අපි ඔහු රැගෙන බලපිටිය රෝහලට ගියා.චෙනන් මියගිය බව රෝහලේදී අපට දැන ගන්න ලැබුණා.

මියගිය තරුණයාගේ පියා වන ඩොනල්ඩ් ජෝන් එල්මෝ ඇන්ටනි නැමති අය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවේය.මියගොස් සිටින අය මගේ වැඩිමහල් පුතා වන චන්න නැමති අයයි.ඔහුට බාල තවත් පුතෙක් මට සිටිනවා.මියගිය පුතා මීගමුවේ පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටියා.පුතා මිතුරන් කීප දෙනෙක් සමඟ මාදුගගේ සංචාරයක් යන බව මවට කියා තිබුණා.පුතාට යන්න එපා කියල මගේ බිරිය ඔහුට පැවසූ බව බිරිය මට කියා සිටියා.ඒ ගමන පුතා මටත් මේ ගමන යන බව පැවසුවා.මම මොකුත්ම කීවේ නැහැ.පුතා මෙයට කළිනුත් පුතා මිතුරන් සමග ට්‍රිප් යනවා.පුතා 4 වැනිදා අලුයම තුන හමාරට පමණ මම ගිහින් එන්නම් අම්මේ කියා නිව‍ෙසින් පිටවුණා.එදාම සවස හයට පමණ අපට දැන ගන්න ලැබුණා පුතා අම්බලන්ගොඩ ප්‍රදේශයේ මුහුදේ නාමින් සිටියදී අනතුරකට ලක්වූ බව.මේ මරණය ගැන මට සැකයක් ඇත්තේ නැහැ.

මේ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරික්ෂණය බලපිටිය රෝහලේ දොස්තර කේ.රුවන් සිල්වා මහතා විසින් පවත්වනු ලැබීය.එම වෛද්‍ය වාර්තව සහ ඉදිරිපත්වූ සාක්ෂි අනුව මෙය මුහුදේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බව මරණ පරීක්ෂකවරයා තීරණය කළේය.

අම්බලන්ගොඩ සමූහ
ආර්. ඥානදාස

 

නව අදහස දක්වන්න