පුරප්පාඩු පිරවූ පසු උපකාරක පන්ති ගැන සොයා බලනවා | දිනමිණ

පුරප්පාඩු පිරවූ පසු උපකාරක පන්ති ගැන සොයා බලනවා

සුභාෂීණී සේනානායක

රටේ 10161ක් වූ පාසැල් පද්ධතියේ ඇති සියලු අඩුපාඩු සම්පූර්ණ කරමින් පාසැල් සඳහා අවශ්‍ය ගුරු විදුහල්පති පුරප්පාඩු පිරවීමෙන් පසු අමතර පන්ති (ටියුෂන්) සම්බන්ධයෙන් සොයා බැලීම් ආරම්භ කරන බව අධයාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඉදිරි වසර දෙක තුළ මේ සියලු අඩුපාඩු සම්පූර්ණ කර ගුරු හිගය සම්පූර්ණ කරන තෙක් ටියුෂන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවත් හෙතෙම කියා සිටි.

ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය ගුරු හිගයක් මේ වන විට පවතින බවත් ඒ සම්බන්ධව කටයුතු සිදු නොකොට ටියුෂන් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා බවත් ප්‍රකාශ කළ කාරියවසම් මහතා එසේ ටියුෂන් සම්බන්ධව යම් පියවරයන් ගතහොත් දරුවන් සහ දෙමාපියන් ඒ සම්බන්ධයෙන් කලකිරිමට පත්විය හැකි බවත් කියා සිටි.

ඉගෙනුම් පද්ධතිය ශක්තිමත් කළ පසු ටියුෂන් සඳහා දරුවන් යොමු නොවනු ඇති බව කියා සිටි ඇමැතිවරයා ඉදිරි වසර දෙක තුළ ඉගෙනුම් ක්‍රියාවලිය ශක්තිමත් කරලීමට අවශ්‍ය සියලු පියවරයන් පවතින නිති රිති සංශෝධනය කරමින් හෝ සිදු කරන බවත් කියා සිටි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ටියුෂන් පන්තිවල උගන්වන ඇතැම් ගුරුවරුන් එම විෂයන් ඉගැන්වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නැති බවත් අතැම් ටියුෂන් පන්තිවල දරුවන්ට අතවර සිදුව ඇති බවත් ඒවායේ විශාල අඩුපාඩු පවතින බවත් ඒවා නියාමනය කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නේ නැතිදැයි මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි. 

නව අදහස දක්වන්න