පු. ලියාපදිංචියේ වයඹ කාර්යාලය හෙට විවෘත කරයි | දිනමිණ

පු. ලියාපදිංචියේ වයඹ කාර්යාලය හෙට විවෘත කරයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය මේ මස 12 වැනි දින කුරුණෑගල දී ජනාධිපති මෛතිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන මහජන සේවාව පුළුල් කරමින් සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී කාර්යක්ෂමතාව නැංවීම , ප්‍රාදේශීය ලෙකම් කාර්යාලවල පිහිටි හැඳුනුම්පත් අංශවලට පහසුකම් සැපයීම සහ අධික්ෂණය ලබා දීම යන අරමුණු රැසක් ඉටු කර ගැනීම ට කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කය සඳහා මෙම පළාත් කාර්යාලය ස්ථෘපිත කරන බැව් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණ) අයි.එස්.එච්.ජේ ඉලුක්පිටිය මහතා දිනමිණ ට කියා සිටියේය.

දැනට පිහිටි පළාත් නවය සඳහා පළාත් කාර්යාලය බැගින් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට ලැබී තිබේ.ඒ අනුව දැනටමත් උතරු පළාත සඳහා වවුනියාව සහ නැගෙනහිර පළාත සඳහා මඩකලපුව කාර්යාල දෙකක් පිහිටුවා ඇති අතර කුරුණෑගල දී විවෘත වන්නේ තුන්වැනි පළාත් කාර්යාලයයි. හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් දැනට කෙරෙන කාර්යභාරය ඉදිරියේ දී පළාත් කාර්යාල මගින් සිදු කර මහජනතාවට පහසුවෙන් හා ඉක්මනින් තම හැඳුන්ම්පත ලබා ගනීම ට අවස්ථාව සළසා දීමට අපේක්ෂිත බවත් හැඳුනුම්පත් මුද්‍රණය කිරීම ආදි කාර්යන් සඳහා යන්ත්‍ර සුත්‍ර ඇතුළු පහසුකම් ඉදිරියේ දී ලබා දෙන බවත් මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රි ලාංකේය පුරවැසියන් සඳහා විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලබා දීම සඳහා දැනට යෝජිත e-NIC ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ද මෙම පළාත් කාර්යාල මගින් කඩිනම් සේවාවක් ලබා ගැනීම ට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. 

අඹන්පොල විශේෂ

නව අදහස දක්වන්න