පසුගිය සමයේ ණය බර පටවා සංවර්ධනය කළා මිස ආර්ථීකය ගැන බැලුවේ නැහැ | දිනමිණ

පසුගිය සමයේ ණය බර පටවා සංවර්ධනය කළා මිස ආර්ථීකය ගැන බැලුවේ නැහැ

 

ඇමැති සාගල රත්නායක

‘පසුගිය කාලේ ණය බර ජනතාව උඩ පැටවීම සිදු කරලා සංවර්ධනය කළා මිස ආර්ථීකය ගැන බැලුවේ නැහැ. සංවර්ධනය හා ආර්ථිකය දෙක එකට යන්න ඕන. හම්බන්තොට වරාය හැදුවා, නමුත් එන්නේ එකම නැවක් විතරයි. ඩොලර් බිලියන 1.3ක් මේ නිසා අපිට අවුරුද්දකට ගෙවන්න තිබෙන පොලිය විතරක් බිලියන නමයක් වෙනවා.

මත්තල ගුවන් තොටුපොළක් හැදුවා එන්නේ එකම ගුවන් යානයක් විතරයි එක දවසකට. ඒ වගේම විශාල මඟීන් ප්‍රමාණයක් එන්නේ නැහැ. විශාල වියදම් නිසා ආර්ථිකයට ශක්තියක් ලැබුණේ නැති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවැසීය.

ඇමැතිවරයා ‍මේ බව පැවැසුවේ සියඹලාගොඩ, රුපියල් මිලියන තුනක් වියදම් කරමින් ඉදි කිරීමට නියමිත පාලමේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා,

‘සංවර්ධනය හා ආර්ථිකය දෙකම එකට යන්න ඕන. හම්බන්තොට තිබෙන සම්පත් දක්ෂ ආකාරයට කළමනාකරණය කරලා ආර්ථීක වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන්න අවශ්‍යයි. හම්බන්තොට විතරක් නොවේ දෙනියාය ප්‍රදේශයෙත් පවතින තත්ත්වයන් තේරුම්ගෙන සංවර්ධන ව්‍යපෘති ආරම්භ කිරීමට අදාළ වැඩ කටයුතු අපි සකස් කරමින් සිටිනවා. මේ පළාතට වැදගත් වෙන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට.

එ‍හි දී සල්ලි තිබෙන සංචාරකයන් අපි මේ ප්‍රදේශවලට ගෙන එන්න ඕන. ඒ සඳහා වඩාත් නිර්මාණශීලී ආකාරයට එම ව්‍යපෘතිය සැලැසුම් කිරීම සිදු කළ යුතු වෙනවා.

‘මාර්ග සංවර්ධනය වීමේ දී ගෙවල් දෙක තුන තිබෙන පාරවල් පවා සංවර්ධනය කළ යුතු වෙනවා. අපි මේවාට සැලැසුම් හදාගෙන තිරසර සංවර්ධනයකට ගමන් කළ යුතු වෙනවා.

අපිට බැරි වුණු දේවල් තිබෙනවා. අපිත් එක්ක ඉවසගෙන මේ සංවර්ධන ගමන එක්ක එකතු වෙලා ගමන් කරමු. අද වන විට හාල් මිල ඉහළ ‍ගිහිල්ලා තිබෙනවා. අපි උත්සාහ ගත්තා මෙය විසඳීමට. ගිය කැබිනට්වල දී වැඩි කාලයක් ගත වුණේ මේ හාල් මිල ගැටලුව සම්බන්ධයෙන්. අපි අද රැකියා ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. මෙය කළ යුතු වන්නේ ආර්ථිකය සකස් කර ගෙන තමයි යැයි එතුමා පැවැසීය.

මේ අවස්ථාවට පිටබැද්ද ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ශ්‍රියානන්ද කණ්ඩම්බි මහතා, හිටපු මන්ත්‍රී චමින්ද දහනායක යන අය ද එක් විය.

තිහගොඩ විශේෂ කැලුම් බෝධිමාන
ඡායාරූපය- තිහගොඩ විශේෂ

නව අදහස දක්වන්න