‘ස්කයි වෝකස්’ සමඟ අහසේ සිට සුන්දරත්වය විඳින්න | දිනමිණ

‘ස්කයි වෝකස්’ සමඟ අහසේ සිට සුන්දරත්වය විඳින්න

 

‍සොබාදහම සමඟ කල් මැරීමට කැමැත්තක් දක්වන දෙස් විදෙස් සංචාරකයන්ට අනඟි අවස්ථාවක් උදා කර දීමට ශ්‍රී ලාංකික සමාගමක් වන ‘ස්කයි වෝකස්’ ඉදිරිපත් වී තිබේ.

මෙරට සුන්දර ස්ථාන දැක බලා ගැනීමට බොහෝ අවස්ථාවන් තිබුණත් එම ස්ථානවලට ගුවනින් යාමට අවස්ථාව අඩුය. එම අවස්ථාව දෙස් විදෙස් සංචාරකයන්ට මේ ගුවන් සමාගම මඟින් සලසා තිබේ.

සංචාරකයන්ට සුන්දර ස්ථාන නැරැඹීමේ අවස්ථාව ෆ්ලයිබෝට් මඟින් ආරම්භ කර ඇති අතර, එම ෆ්ලයිබෝට් එක මඟින් දිය සහ ගුවනේ සංචාරක ප්‍රවාහනය කිරීම සිදු කර තිබේ. එම ෆ්ලයිබෝට් මඟින් සිදු කරන සංචාරකයන් ප්‍රවාහනය කිරීම පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල උනන්දුවක් ඇති වීම නිසා එම සමාගම පළමුව පැරාමෝටර්ස් මඟින් සංචාරකයන් ප්‍රවාහනය කිරීම සිදු කර ඇත. සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වීමත් සමඟ කුඩා ගුවන්යානා දෙකක් යොදාගෙන මිරිස්ස සහ වැලිගම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සිදු කර තිබේ.

මිරිස්ස සහ වැලිගම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන් සැහැල්ලු ගුවන්යානා මඟින් ගොස් ගොඩබිමේ සුන්දර ස්ථාන නැරැඹීමට දැඩි කැමැත්තක් දැක්වීම නිසා එම සමාගම බෙන්තොට සහ කළුවාමෝදර යන ප්‍රදේශ වලද මේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ණ සහාය මත විදේශිකයන් රැගෙනයාම සිදු කරන නිසා කිසිදු අනතුරක් සංචාරකයන්ට නොවන බව එම සමාගම පවසයි.

සංචාරකයන් සුන්දර ස්ථාන නැරැඹීමට රැගෙන යාමේ දී විනාඩි 12-20ත් අතර කාලයක් ගත කරන බවත්, ඒ සඳහා රුපියල් එකොළොස්දහසක මුදලක් වැය වන බවත් සෑම මගියකුටම රුපියල් මිලියන දෙකක රක්ෂණ ආවරණයක් ද ලබා දී තිබේ.

ස්කයිවෝකස් සමාගම ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ අශෝකා නිලන්ති මහත්මියයි. ඇය ජර්මන් ජාතිකයකු සමඟ විවාහ වීමෙන් ජර්මනියට ගොස් එහි පදිංචිව සිටිය දී සැහැල්ලු ගුවන් යානා මගින් ප්‍රවාහනය කිරීම සිදුකර ඇති බවත් එහි දී ලැබූ අත්දැකීම් අනුව ශ්‍රී ලංකාවට පැමිණ මේ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඒ අනුව පළමුව සැහැල්ලු ගුවන්යානා දෙකක් මිල දී ගෙන ආරම්භ කර මිරිස්ස ප්‍රදේශයේම පදිංචිව සිටි අතර, ව්‍යාපාරය සම්බන්ධයෙන් සංචාරකයන්ගේ තිබුණු උනන්දුව නිසා ස්කයි වෝකස් නමින් සමාගමක් පිහිටුවාගෙන තිබේ. මේ සමාගමේ තිබෙන සැහැල්ලු ගුවන් යානා දෙක ජර්මන් ජාතික පිෂ්මේගල සහ මංගල පුෂ්පකුමාර යන දක්ෂ නියමුවන් දෙදෙනා පදවන අතර, මංගල පුෂ්ප කුමාර ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි දක්ෂ පැරෂුට් ශූරයෙකි.

ගුවන් යානා මගින් සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ දී මේ වනතෙක් කිසිදු සංචාරකයකුට හානියක් සිදු වී නොමැති බවත් සුන්දර ස්ථාන ආසන්නයටම සංචාරකයන් රැගෙන යාම මේ සමාගම සිදු කරන බවත් ඔවුහු පවසති.

දිලීප් නිශ්ශංක - බළපිටිය සමූහ 


නව අදහස දක්වන්න