කර්ම ශක්තිය ද ග්‍රහ ශක්තියද | දිනමිණ

කර්ම ශක්තිය ද ග්‍රහ ශක්තියද

 

තෙරිපැහැ අරියවංශ කීර්තිසිංහ හිමි

අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මිනිසුන්ට වගේ ම තිරිසන් සතුන්ටත් ග්‍රහයන්ගේ බලපෑමක් තියනවද කියලා. නමුත් ඒ ගැන සොයා බලද්දී මිනිසුන්ටත් තිරිසන් සතුන්ටත් බලපෑම් කරන්න ග්‍රහයන්ට පුළුවන් ද කියන කාරණාව මට වගේම මේ ලිපිය කියවන ඔබටත් වැටහේවි.

අත්තස්ස අත්ත නක්කත්තං කිං කරිසපති තාරකා

ග්‍රහ නැකැත් තරුවලට කළ හැකි දෙයක් නොමැති බවත්, සියල්ල සිදුවන්නේ කර්ම බලයෙන් බවත් බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.

චිත්ත නියාම, කර්ම නියාම, ධර්ම නියාම, බීජ නියාම, සෘතු නියාම යනාදී වශයෙන් අෂ්ඨ ලෝක ධර්මයේ පැවැත්ම සඳහා සාධක වන නියාම ධර්ම පහක් පිළිබඳ බුද්ධ භාෂිතයේ පැහැදිලි ව ප්‍රකාශ වේ.

මෙම නියාම ධර්මතාවයනට අනුකූලව දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ ආත්මයේදී ද, උප පජ්ජවේදනීය වශයෙන් ඊළඟ ආත්මයේදී ද, අපරාපරිය වේදනීය වශයෙන් සසර පුරාවටම ද කර්ම විපාක ඵල හිමිවන බව සහ මෙලෙස විපාක දීමට හේතුවන ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංගසම නිධාන, අනුගාමික නිධාන, උපත, සැපත, විපතට හේතුවන සංකත සහ අසංකත, ආමිස හා නිරාමිස වශයෙන් අග්‍රධර්ම හා ප්‍රසාද ධර්මතාවයන් ගැන නිවැරදිව පැහැදිලි කර ඇත.

මේ ශ්‍රී සද්ධර්මයට අනුගතව ප්‍රඥාවන්තව, බුද්ධිමත්ව බලන කළ අප වාසය කරන ලෝකය වනාහී අපෝ, තේජෝ, වායෝ, පථවි, ආකාශ පංච මහා විශ්ව ශක්තීන්ගේ සුසංයෝගී සම්මිශ්‍රණ වස්තුවකි. මානව ලෝකය මඟුල් සක්වල හෙවත් මනුෂ්‍ය ලෝකය විශ්වය තුළ අබ ඇටයක් හා සමාන දෙයකි.

විශ්වයේ පරාසය ආරම්භයක්, අවසානයක්, කෙළවරක් නොමැත. එය ලෝක න්‍යාම ධර්මතාවයකි. කාලය මොහොතින් මෙහොත උදාවෙමින් ගෙවී යයි. එහිද ආරම්භයක් හෝ අවසානයක් නොමැත. එය විශ්ව ධර්මතා අතර නියාම ධර්මතාවයකි. මෙම නියාම ධර්මතා තුළ ඇතිවන ලෝකයේ ඇවැත්ම, පැවැත්ම, නැපැත්ම අතර පොදුවේ සත්වයා හටගනියි. එම හට ගැනීමේ නියාම ධර්මතාවයන් අතර ගති, අගති, සුගති වශයෙන් ත්‍රිවේධ ධර්මතා ලෝක ධර්මතා අතරට විහිදුවමින් එම ගති ලක්ෂණ අනුව කෙනකුගේ ගති ශක්තිය අනුව සිදුවන උඵතට අදාළව ඔහුගේ ඇවතුම් පැවතුම් ගතානුගතික සිරිත් විරිත්, චාරිත්‍ර ධර්මතාවයන් ක්‍රියාත්මකව එම ක්‍රියා කලාපයන් තුළින් කෙනකු අගතියට හෝ සුගතියට පත්වෙති.

මේ අනුව අගතිගාමී වන පුද්ගලයා අගතියට පත්වන අතර සුගතිගාමී වන තැනැත්තා සුගතියට පත්වෙයි. අගතියට පත්වන තැනැත්තා සතර අපාය නිජබිම කර ගන්නා අතර තිරිසන් අපාය - සතර අපායේ එක් ආයතනයක් පමණි. එසේම සුගති ගති ඇති තැනැත්තා සුගතිගාමී වෙයි. සුගතියට පත්වන තැනැත්තාට අයත් ස්ථාන මනුෂ්‍ය, දිව්‍ය සහ බ්‍රහ්ම වශයෙන් ස්ථානගත වේ. මේ ස්ථානවලට පත්වන්නේ ඔවුන්ගේ කර්ම ක්‍රියා ගති පැවතුම්වල ඵල විපාක අනුවය.

ග්‍රහ බලය යනු ස්වයං කල්පිත වූ තත් කාලයට (ඒ ඒ උදාවන අවස්ථාවට) අනුව බලපාන විශ්ව ධර්මතාවයකි. කෙටියෙන් කිවහොත් ගණිත ශාස්ත්‍රීය ක්‍රමයකි. එහි පුනඃකල්පිතව (පුනඃ පුනං) (නැවත නැවත අවස්ථාවට අනුව) ජෝති ජෝතී පරායන (ආලෝකයෙන් ආලෝකයට) ගම්‍ය වන ක්‍රියාවකි. අගතිභාවය තුළ ආලෝකයක් නැත. අන්ධකාරය. අපාය - අපායග්‍රාමී වන අවස්ථාවකි. මේ අවස්ථාව තුළ (අනතගාමී) නැවත නැවත බැබළීමක් නැත.

බැබළීම යනු සිතයි. පින්කිරීමේ හැකියාවක් නොමැති තැනකට පත්කරන විට ඔහුට අදාළ කර්ම බලය ස්වභාවික ධර්මය තුළින් ලබා දී ඇත. සියලුම විශ්ව ග්‍රහයන් මේ ධර්මතාවයට යටත්ව පවතී. එම ධර්මතාවයට ඉහලින් බලපුළුවන්කාරකම් කිරීමට තරම් ග්‍රහයෙක් මේ විශ්වය තුළ නොමැත.

එම ධර්මතාවය කර්මය හෙවත් ගති නිමිත්තට අනුව සිදුකරගෙන ඇති අගතියට පත් තැනැත්තා අගති ඵලයට යාමට අදාළ කාලය නිමවන තෙක් විපාක විඳිය යුතුය.

ග්‍රහ බලය යනු විශ්ව නියාමක ධර්මතාවයකි. එම ධර්මතාවය ලෝකයේ පැවැත්ම පිණිස අනුසෝතගාමීව ක්‍රියාත්මක වන්නකි. ගති නිමිත්තට අනුව සුගතිගාමී බවට පත්වීමෙන් මනුෂ්‍ය යෝනිගත වූ විට මනුෂ්‍ය ධර්මතා අනුගමනය කිරීම තුළින් ඔහු ප්‍රභාස්වර තත්ත්වයට පත්වේ.

සමහර සත්වයෝ අකල් කර්මයට අනුව තිරිසන් යෝනියක උපත ලබති. එහෙත් පෙර භවය උසස් සුගති කර්ම සිදුකර ඇති සත්ත්වයකු බැවින් ඔහුගේ කර්ම, කර්ම නියාම විපාක අනුව උප්පත්ති බීජ න්‍යායේ බලපවත්වන හෙයින් එම තිරිසන් සත්වයින් අතර සමහර සත්ත්වයින් ඇතුන්, අශ්වයන්, ගවයන්, සුනඛයන්, බළලුන් ආදී ප්‍රකෝටි ගණනකට කෙනකු, දෙදෙනකු බොහෝ කලාතුරකින් මිනිස් සමාජය තුළ ගෞරවයට බඳුන් වී සත්ත්ව සමාජය තුළ උසස් ලෙස දිවි ගෙවීම සිදුකළ ද ඔහු තිරිසන් අපාගත සත්ත්වයෙකි. තිරිසනුන් අතරින් තිරිසන් ලෝකය තුළ ඔහුට උසස් දිවියක් අන්තර්ගත ‍කළ නොහැක.

මේ තත්ත්වය තිරිසන් සත්ත්වයන් අතර පමණක් නොව සතර අපාගත ස්ථානවල පවා දක්නට ඇත. යම රජුන්, යමපල්ලන් ආදී උසස් තනතුරු සහිත ස්ථානවලට පත්වීම සිදුවන්නේ ග්‍රහ බලය නිසා නොව නියාම ධර්මතාවයන්වලට අනුකූලවය.

ඔවුහු ලබන ඒ ආත්ම පරිවර්තනභාවය ඊට අදාළ වන ඵල විපාකවලට අනුකූලව ගත කළ යුතු ආයුෂ ගෙවිය යුතු අතර ඒ ආලෝකයෙන් අඳුරට වැටී අඳුරින් තවත් ඝණ අන්ධකාරයට පත්වන්නා හා සමානය.

කර්ම විපාකය අවසන් වන කාලය වන විට පෙර භවය බලවත් සුගති කර්ම විපාකයත් පරෝපකාරය ඉදිරිපත්ව ආත්ම පරිවර්තනය සිදු නොවුණහොත් එම සත්ත්වයා සසර අනෝරාග්‍ර භාවයේ අන්ධකාරයේ වාසය කිරීමට සිදුවෙනු ඇත.

මෙය ග්‍රහයෙකුට කිරීමට පුළුවන් දෙයක් නොව, අෂ්ඨලෝක ධර්මතාවයට අනුකූලව සිදුවන ලෝක ධර්මතාවයකි. එම විශ්ව න්‍යාම ධර්ම ශක්තියට මුළුමහත් විශ්ව තලයේම තිබෙන ග්‍රහ වස්තු වනත වන්නේය.

සාකච්ඡා කළේ චතුමි පිටිපන

නව අදහස දක්වන්න