ලොව උසම ගොඩනැගිල්ල | දිනමිණ

ලොව උසම ගොඩනැගිල්ල

 

මිනිසා අතර මෙන් ම, දේශ දේශාන්තර අතර පවතින්නේ තරගකාරී තත්ත්වයකි. විටෙක මිනිසා, අවි ආයුධ මඟින් තම බල සම්පන්න බව ලොවට කියා පායි. තවත් විටෙක ස්වභාවික සම්පත් මඟින් බල සම්පන්න බව පෙන්වයි. නැතහොත්, අපට නොපෙනෙන විශ්වයේ අපුර්ව වස්තු සොයා යයි. මෙලෙස, කුමන අරමුණක් වුව පෙරදැරිව ඔවුන් උත්සාහ දරනුයේ, තම බල සම්පන්න , ජව සම්පන්න බව ලොවට හඬ ගා කීමට ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මොහොමඩ් බින් නමැති පුද්ගලයාට අවශ්‍ය වූයේ ද, ලෝක සිතියමේ තමන් උපන් මවුබිම දිලිසෙමින්, වැජඹෙනු දැකීමට ය. එය සාක්ෂාත් කරලනු වස්, ලොව විශාලතම ගොඩනැගිල්ල එම බිමේ ඉදි කිරීමට ඔහුට හැකිව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ වර්ග මීටර් 309,473 භුමි භාගයක පිහිටි ලොව උස ම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා (Burj Khalifa) නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ, ඒඩ්රියන් ස්මිත් නමැති වාස්තු විද්‍යාඥයාට ය. එමෙන් ම, විල්ස් කුලුන සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ද ඔහු විසින් නිර්මාණය කළ අග්‍රගන්‍ය නිර්මාණ අතර වේ. මේ අතිවිශාල බර්ජ් කලීෆා කුලුන නිර්මාණය කිරීම ආරම්භ කර ඇත්තේ, 2004 වසරේ ජනවාරි 06 වැනි දින ය. මෙහි වැඩ අවසන් කර ඇත්තේ, 2009 දෙසැම්බර් 31 වැනිදා ය.

ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පය යොදා, සිය රටට ගැළපෙන සේ නිර්මාණය කළ මේ ගොඩනැගිල්ල, රටේ සංස්කෘතිය හා කලාව විනාශ නොකරමින්, ඉස්ලාම් ශිල්පය මනාව හසුරුවමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

මේ දැවැන්ත කුලුන අබුඩාබි නගරයේ ඉදි කිරීම සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ, ලෝකයේ ස්වභාවික තෙල් සම්පතට උරුමකම් කියන ඔවුනට, එය තව තවත් දියුණු කිරීම හා ජාත්‍යන්තර පිළිගැනිමක් ලබා ගැනිම සඳහා ය. මේ අදහස වඩ වඩාත් ඉදිරියට ගෙන ඒමට අඩිතාලම යොදා ඇත්තේ, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිව සිටි කලීෆා බින් සයාර්ඩ් අල් නයා මහතා ය. මේ ජනාධිපතිතුමන්ට දක්වන ගෞරවයක් ලෙස, එතුමාගේ නමේ කොටසක් ද මේ කුලුනට යොදා තිබේ.

එපමණක් නොව, ඒ අවට වර්ග කිලෝමීටර් දෙකක් පමණ සංවර්ධිත ප්‍රදේශයක් නිර්මාණය කර තිබේ.එය ඩවුන් ටවුන් ඩුබායි නමින් හඳුන්වයි .

අඩි 2,716.5 ක් පමණ උස වන මේ කුලුනේ තුඩ මීටර් 829.8 පමණ වේ. එමෙන් ම, ලෝකයේ උස ම නිරීක්ෂණාගාරය මෙහි පිහිටන අතර, එය මීටර් 555.7 පුරා පැතිර පවතී. එහි සිට කිලෝමීටර් 95 ක් දුරට අවට සිරි විසිතුරු නැරැඹිය හැකි ය. මේ කුලුනේ වැස්ම මීටර් 828 කි. කුලුන ඉහළ භුමිය මීටර් 584.5ක්වේ.

බර්ජ් කලීෆා කුලුන එවන් හැඩයකට නිර්මාණය කිරීමට හේතු වී ඇත්තේ, හෝටල් හා පදිංචිය සඳහා ය.මේ දැවැන්ත කුලුන නිර්මාණය කිරීම සඳහා වීදුරු, වානේ, ඇලුමිනියම් සහ කොන්ක්‍රීට් යොදා ඇත. මේ සඳහා, කොන්ක්‍රීට් ටොන් 110,000ක්, වානේ ටොන් 55 000ක් ද භාවිත කර තිබේ. කුලුන මධ්‍ය ආධාරකය යොදා ඇත්තේ ගොඩනැගිල්ලේ ශක්තිමත් භාවයට රුකුලක් ලෙස ය. එමෙන් ම, මෙහි බාහිර ආවරණය නිර්මාණය කර ඇත්තේ, ඩුබායි නගරයේ ගිම්හාන ඍතුවේ උෂ්ණත්වයට ගැළපෙන ලෙසට ය.

බර්ජ් කලීෆා කුලුන පොළොවේ සිට ඉහළට තට්ටු 163 ක් ඇති අතර, 154 පරිහරණය සඳහා යොදා ගනී. එමෙන් ම, මෙහි වාහන නැවතීම සඳහා ද රථ ගාල් දෙකක් පවතින අතර, විදුලි සෝපාන 57 ක් දක්නට ලැබේ.

මේ විශාල කුලුන මිශ්‍ර සංවර්ධනයකට යොදා ගැනීමට නිර්මාණය කළ අතර, මෙහි නිවාස 30 000 ක් පවතී. තව ද, හෝටල් 9ක්, අක්කර 7.4 ක උයන් බිමක්, පාම් ගස්වලින් දෙපස අලංකාර කළ මංතීරු ,අලංකාර වතුර මල් ද ඒ දෙපස දක්නට ලැබේ. එමෙන් ම, සුපිරි වෙළෙඳ සංකිර්ණ ද පවතී.මෙහි දක්නට ඇති සුවිශේෂී නිර්මාණය නම්, අක්කර 12 ක් පුරා පැතිරී පවතින කෘත්‍රිමව නිර්මාණය කළ බර්ජ් කලීෆා තටාකයයි.

ලෝකයේ උස ම කුලුන ලෙස නම් කළ බර්ජ් කලීෆා, සම්මාන ගණනකින් ම පිදුම් ලබා, වාර්තා බිහි කර තිබේ. ලෝකයේ උස ම එළිමහන් නිරික්ෂණාගාරයට හිමි සම්මානය,ලෝකයේ උස ම නිදහස් ආධාරක ආකෘතිය වැනි වාර්තා හයක් ඔවුන් ලබා ඇත.

නව 2017 වර්ෂය පිළි ගැනීම සඳහා අබුඩාබි නගරය නේක වර්ණයෙන් අලංකාර වූ අතර, බර්ජ් කලීෆා කුලුන ද එලෙසම මල් වෙඩිවලින් වර්ණවත් විය.

අති විශාල සේවක මණ්ඩලයක් සේවයේ නියුතු මේ කුලුන, ලොව මවිත කරන අපුර්ව නිර්මාණයකි. මේ වනවිට මෙය, සංචාරක පාරාදීසයක් බවට ද පත්ව තිබේ

සටහන - ලක්මිණි ගාල්ලගේ

නව අදහස දක්වන්න