අලට කන්න බැරි අලගල්ලේ කන්ද | දිනමිණ

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

 

රාජ්‍ය අනුග්‍රහය නොලත් නිදහස් උත්සවය පවත්නා අලගල්ල කන්ද, අතීතයේ සිටම ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගැනීම සඳහා විවිධ විජාතික ආක්‍රමණිකයන් දැඩි පරිශ්‍රමයක් දැරී ය.කෙසේ හෝ මුහුදු බඩ ප්‍රදේශ ඔවුන්ගේ අණසකට ලක් වුවත්, රට අභ්‍යන්තරයට, එනම් උඩරට රාජධානියට පැමිණීමට 1815 වන තුරු ඔවුනට නොහැකි වුණි.

එයට හේතු වන ප්‍රධාන කරුණ වන්නේ, ශ්‍රී ලංකාව තුළ පවතින ස්වභාවික ආරක්ෂාව ය. මෙලෙස දැඩි ආරක්ෂාවක් සලසනු වස් ස්වභාවිකව එකින් එක යාව, කඳු පන්ති පිහිටීම බලපා ඇත. විජාතික ආක්‍රමණ හමුවේ යෝධ මුර සෙබළකු ලෙස ආසහාය මෙහෙවරක් ඉටු කළ අලගල්ල කන්ද, ඒ අතරින් සුවිශේෂී වේ.

බතට කන්න බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
උණට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද

අතීතයේ අපේ පැරැන්නන් මෙලෙස කඳු පන්තිවල පවතින දැවැන්ත බව ගී මඟින් ප්‍රකාශ කළ ද, අද වන විට එම ගී අප අතරින් වියැකී ගොස් ඇත.මධ්‍යම කඳුකරයට හා සබරගමු කඳුවලට යාබදවා පිහිටි අලගල්ල කන්ද, මීටර් 1140 ක උසින් යුක්ත ය. අලගල්ල කන්ද නැරැඹීමට කැමැති ඔබට, ඒ සඳහා මාර්ග දෙකකින් පැමිණිය හැකි ය.

එක් මඟක් ලෙස , මහනුවර පොත්තපිටිය මාර්ගයේ පැමිණ, අලගල්ල තේ කර්මාන්ත ශාලාව අසලින් ගමන් ආරම්භ කළ හැකි ය. එසේ නොමැති නම්, කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ පැමිණ, ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස, අලගල්ල තේ කර්මාන්ත ශාලාව අසලට වැටෙන මාර්ගයේ පැමිණ ගමන් කිරීමට පුළුවන. එසේත් නොමැති නම්, ගංගොඩ දුම්රියපළෙන් බැස, අලගල්ලට යා හැකි ය.

වර්ෂයේ වැඩි කාලයක් කැළෑවෙන් වැසී පවතින අලගල්ල කන්ද ගමන් මාර්ගය, පෙබරවාරි මාසයේදී අවට ගම් වැසියන් හෙළි පෙහෙළි කරයි. එයට හේතුව , පෙබරවාරි 04 වැනි දින, එනම් නිදහස් උත්සව දින දී, වාර්ෂිකව අලගල්ල තරණය කිරීම ය. නිදහස ලැබු දිනයේ පටන් අඛණ්ඩව මේ දක්වාම ශ්‍රී ලංකාවේ පැවත්වෙන, රාජ්‍ය අනුග්‍රහය නොලබන නිදහස් උත්සවය පැවැත්වෙන එක ම ස්ථානය මෙය වේ.

පෙබරවාරි මාසයේදී අලගල්ල කන්ද තරණය කිරීමට ප්‍රධාන හේතු කාරණා කීපයක් පවතී. එයින් ප්‍රධාන හේතුව වන්නේ, එම මාසය පුරාවට පවතින වියළි කාලගුණයයි. එසේ ම, මීට පුරාවෘත්ත කීපයක් ම බලපා ඇත. අලගල්ල කඳු ශිකරයේ කොටසක් හතරලියද්ද පළාතට අයිතිව තිබේ.එය එකල හැඳින්වුයේ තුම්පනේ ලෙසිනි.ඉතිහාස කථා දක්වන පරිදි එකල තුම්පනේ සිටි මිනිසුන්, අනුවණ වැඩ කළ බව සඳහන් වේ.

1948 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වී නිදහස ලබන මොහොතේ, කොළඹදී නිදහස් උත්සවය පවත්වන බවත්, එහිදී නිදහස ලබන බවත්, ලංකාව පුරාම ප්‍රචාරය වූ විට, තුම්පනේ සිටි මිනිසුන් කොළඹ යා නොහැකි නිසා, එම නිදහස් උත්සවය බැලීම සඳහා අලගල්ල කඳු මුදුනට නැග අවට බැලු බව සදහන් වේ.

විවිධ බටහිර ජාතිකයන්, උඩරටට එරෙහිව ආක්‍රමණ මෙහෙය වූ අවස්ථාවලදී, එල්ල කළ කැරලි රැසක් අසාර්ථක විය. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, උඩරට ජනතාව මේ කඳු ශිකරයේ සැඟ වී, එම ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර දියත් කළ බව ය. උඩරට රාජධානියේ ආරක්ෂාව සඳහා ඉදි කළ, බලන බල කොටුව ද, අලගල්ල හා කඩුගන්නාව අතර පිහිටි නිසා, එහිදී ද සතුරාට එරෙහිව ආක්‍රමණ එල්ල කිරීමට අලගල්ල කන්ද බෙහෙවින් ඉවහල් වී තිබේ.

1815 ඉංග්‍රීසින් උඩරට යටත් කර ගත් පසු, ප්‍රධාන ආර්ථික භෝගයක් වන තේ වගාව උඩරටට හඳුන්වා දුනි. එම තේ දළු ප්‍රවාහනය කිරීම සඳහා මාර්ග නොමැතිකම හේතුවෙන්, කොළඹ - මහනුවර දුම්රිය මාර්ගය එකල ඉදි කෙරිණි. මෙය ද අලගල්ල කඳු වැටිය හරහා ඉදි කර තිබේ. මුල් ම කාලයේ අලගල්ල කන්දෙන් ගලා ගිය මීයන් ඇල්ල දෙකඩ කොට, අලගල්ල කන්ද වටා දුම්රිය මාර්ගය නිර්මාණය කළ ද, එහි අනතුරු භාවය වටහා ගත් ඔවුහු, අලගල්ල ගල සිදුරු කොට උමඟක් නිර්මාණය කළහ. කොළඹ - නුවර දුම්රිය මඟේ අද දක්නට ඇති හය වැනි දුම්රිය උමඟ එය වේ.

අලගල්ල කන්දෙහි උස ම ස්ථානය වන ශෛලම ශිඛරය තරණය කිරීම, පළපුරුදු අයෙකුට වුව ද තරමක අභියෝගයකි. ආනතව පවතින, තරමක සුමට ගල් තලාවක් ඔස්සේ අඩි 30 ක් පමණ උසක් නැගිමෙන් පසු, උරඟයකු මෙන් බඩගා උඩට නැගිය යුතු ය. පහළට නොපෙනුන ද, කඳු මුදුනේ සිය ගණනකට රැස් වීමට ඉඩ තිබේ. ප්‍රධාන ගල් තලාව අඩි දෙසීයකට පමණ දුරකට විහිදී යන අතර, එහි වන වදුල කිලෝ මීටර්යක් පමණ වැසී ගොස් ඇත.

අලගල්ල කඳු ශිඛරය වටා කඳු පන්ති කීපයක් දක්නට ලැබේ. එනම්, බතලේගල, දෙවනගල, අම්බුළුවාව සහ නකල්ස් කඳු පන්තිය ය. පුජා ගල පිහිටා ඇත්තේ අලගල්ල කඳු මුදුනේ ඉහළ කොටසේ ය. එහි අලුත ඉදි කළ ස්ථූපයක් ,සිරිපතුලක් සහ කුඩා පොකුණක් දක්නට ලැබේ. ස්ථූපය ඉදි කිරීම සඳහා ගල්, වැලි රැගෙන ගියේ, අලගල්ල තරණය කිරීමට යන මිනිසුන් බව සඳහන් වේ.

කෙසේ වෙතත්, කදු මුදුනට ගිය පසු, අවට සොබා සෞන්දර්ය මනාව දැක ගත හැකි ය. පොත්තපිටිය, හතරලියද්ද, මාවනැල්ල, රඹුක්කන,ඉහළ කෝට්ටේ මනා ලෙස කඳු මුදුනට දර්ශනය වේ.අලගල්ල කන්ද තරණය කිරීමට කැමැති ඔබට, සොබා සෞන්දර්ය නරඹමින්, එහි අසිරිය විඳ ගත හැකි ය. එහෙත්, පරිසරයේ අසිරිය විඳින ගමන් ම, ඉදිරි පරපුරට එය ආරක්ෂා කර දීමට කටයුතු කිරීම, ඔබ සතු වගකීමකි.

ලක්මිණි ගාල්ලගේ


නව අදහස දක්වන්න

Or log in with...