පාර අවහිර වනසේ උද්ඝෝෂණ එපා | දිනමිණ

පාර අවහිර වනසේ උද්ඝෝෂණ එපා

සුභාෂිණී සේනානායක

පදික වේදිකා අවහිර කරමින් මහජන පීඩාවක් සිදුවන අයුරින් උද්ඝෝෂණ සිදු කිරීමෙන් වළකින්නැයි කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (14) ආබාධිත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයට නියෝග කළාය.

උද්ඝෝෂණය කිරීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය එය මහජන පීඩාවක් සිදු නොවන අයුරින් සිදු කළ යුතු බව ප්‍රකාශ කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස ප්‍රකාශ කළේ අබාධිත රණවිරුවන්ට ලබා දුන් විශ්‍රාම වැටුපේ විෂමතා ඇති බව පවසමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව පොලිස් ස්ථානය ඉදිරිපිට පදික වේදිකාව අවහිර කරමින් සහ ජනාධිපති ලේකම් කාර්යාලයට යන මාර්ගය අවහිර කරමින් රණවිරුවන් සිදු කරන උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් සිදුවන බවට කොටුව පොලිසිය අධිකරණයට සිදු කළ ඇනුම් දීමෙන් අනතුරුවය.

මේ නියෝගය රණවිරුවන්ට ප්‍රදර්ශනය කළ යුතු බව ප්‍රකාශ කළ මෙහේස්ත්‍රාත්වරිය ඔවුන් සිටින ස්ථානයට දර්ශනය වන අයුරින් නියෝග පිටපත් අළවා ප්‍රදර්ශන කළ යුතු බව ද කීවාය.

මේ උද්ඝෝෂණය මෙහෙයවන්නේ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති විශ්‍රාමික කෝප්‍රල් අජිත් ප්‍රසන්න සහ එම සංවිධානයේ ලේකම් සුමිත් යන අය බව ප්‍රකාශ කළ කොටුව පොලිසිය මේ උද්ඝෝෂණය හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බව අධිකරණයට දැනුම් දුන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මේ උද්ඝෝෂණකරුවන් හේතුවෙන් ජනාධිපති ලෙක්ම් කාර්යාලයට ප්‍රවිශ්ට වන මාර්ගය අවහිර වී ඇති බව කීවේය.

මේ උද්ඝෝෂණකරුවන් සමඟ බ්‍රිගේඩියර් රණවක මහතා සහ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සාකච්ඡා කළ බවත් උද්ඝෝෂණය සිදු කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ස්ථානයක් ලබා දීමට හැකි බවත් එහි යාම සඳහා බස් රථ යෙදවීමට හැකි බවත් කියා සිටිය ද ඔවුන් එයට අකමැත්ත ප්‍රකාශ කළ බව කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ප්‍රදානයක් සිදු කළ බව ද එහි දී 152 දෙනකු පමණ එම ලිපි භාර ගෙන ඇති බවත් ඉන් 100 දෙනකුගේ පමණ විශ්‍රාම වැටුපේ විෂමතා ඇති බව කියමින් මේ උද්ඝෝෂණය සිදු කරන බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය. 

නව අදහස දක්වන්න