පාත හේවාහැට කොස් ගස් ජාවාරම | දිනමිණ

පාත හේවාහැට කොස් ගස් ජාවාරම

බත් ගස යන උත්තරීතර නාමයෙන් හඳුන්වනු ලබන කොස් ගසට මෙරට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රදේශයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයකින් තොරව කිසිදු කොස් ගසක් කැපිය නොහැකිය. ඒ සඳහා ද ඔහු විසින් අවසර දෙනු ලබන්නේ නිලධාරීන් කිහිප දෙනකුගේ අධීක්ෂණය සහ ලියකියවිලි මතය.

කොස් ගසක් කැපීමට අවසරය ගැනීමට උසාවියකින් තීන්දුවක් දීම, සංවර්ධන කටයුතු සඳහා, (මාර්ග සංවර්ධන, විදුලිබල සැපයුම් වැනි) නිවසක් සාදන අවස්ථාවක නිවෙස් සැලැස්මට මැදි වු විට, ස්වාභාවික හේතු, ජීවිත හෝ දේපළවලට සිදු වන හානි වැනි දෑ මුල්කරගෙන මේ අවසරය ලබා දේ.

කාරණා මෙසේ වුවත් පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉහත කී හේතු පාදක නොවන ශීඝ්‍ර කොස් ගස් ජාවාරමක් සිදු වන බව ප්‍රදේශවාසීහු කියති. ඒ හේතුව නිසා ප්‍රදේශයට තිබු පෞරාණික කොස් ගස් සිය ගණනක් අහිමිව ඇති බව පවසන ඔවුහු තව ටික කලකින් කොස් බහුලව තිබු හේවාහැට කොස් නැත්තටම නැති වී යනු ඇතැයි අනාවැකි ද පළ කරති.

කිසිදු පාරිසරික හෝ මානුෂික බලපෑමකට යටත් නොවන මේ ජාවාරමට ලක් වු කොස් ගස් මුල්වලට රොඩු දමා පුච්චා ඇති බව ද, ගස් මුල් රොඩුවලින් වසා ඇති බව ද දක්නට ඇත. කොස් ගස කැපීම සම්පුර්ණයෙන් තහනම් යැයි බියකින් සිටි ග්‍රාමීය ජනතාව එක එක වතුවල ගස දෙක බිම වැටෙද්දී ඊට එබිකම් කිරීමට අසල වතු අයිතිකරුවන් ද නිරායාසයෙන්ම පෙළැඹේ.

තවද මෙහි ඉඩමක් වෙන්දේසි ආයතනයකින් වෙන්දේසි කිරීමට යාමේ දී කොස් ගස් හතළිස් පහක් පමණ කපා ඇති බව ද, ඒ සඳහා ගස් කැපීමෙන් පසු අනුමැතියට යොමු කර ඇති බව ද, කෘෂිකර්ම කමිටුවෙන් එය ප්‍රතික්ෂේප වී ඇති බව ද, විශේෂ කමිටුවක් ඊට පත් කර ඇතත් ඉන් එහාට කිසිදු දෙයක් නොදන්නා බව ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

තම පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කොස් ගසක් කැපීමට ඉල්ලන පුද්ගලයකුට අවසර ලබාගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ද පෙන්වා දෙන ඔවුහු ඒ සඳහා ලිපි ලේඛන රැසක් සහිතව දීර්ඝ කාලයක් අවශ්‍ය බව ද කියති.

මේ කොස් ගස් මිල දී ගැනීම එකම මුදලාලි කෙනකු අතේ පවතින බවත්, ගස් විකිණීමට අවශ්‍ය කෙනකුට බලපත්‍රය ලබාගැනීමට ඔහු හරහා යන්නේ දින දෙකක් වැනි කාලයක් බවත්, ගස් විකුණන්නෝ පවසති. මේ නිසා ලොකු වටිනාකමක් ඇති ගස් සොච්චම් මුදලකට සල්ලං වන බව ද ගස් හිමියෝ කියති. කාලාන්තරයක් තිස්සේ මුදල් අරභයා ගස් අලෙවියට මාන බලා සිටියවුන් මේ නිසා තම අවශ්‍යතා ලෙහෙසියෙන්ම කර ගනු ලබයි.

ලද අවසරයෙන් සැනෙකින් බිම පතිත වන පතාක කොස් ගස් පැය කිහිපයකින් ප්‍රදේශයේම බලයලත් ලී මෝලක කෑලි බවට පත්වන බවට ද තොරතුරු අනාවරණය වේ. එකිනෙකට සම්බන්ධ වු ජාලයකින් මෙය ක්‍රියාත්මක වන නිසා මේ ජාවාරම පහසුවෙන්ම කර ගෙන යනු ලබන බවට ඔවුහු චෝදනා කරති.

පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් මධුපානි පියසේන මිය

"නීති රීතිවලට යටත්ව කොස් ගස් තුනක් කැපීමට අවසර ලබා දෙන්න ප්‍රාදේශීය ලේකම්ට බලය තියෙනවා. අපි සියල්ල සැලකිල්ලට ගෙන කටයුතු කරන්නේ. ගස් කපා ඇති ස්ථාන කීවොත් අපට එය නිරීක්ෂණය කරන්න යන්න පුළුවන්. මේ ගැන මාධ්‍යවලින් දැනුවත් කිරීම වැදගත්. වෙන්දේසි වත්තේ ගස් කපන්න පරිසර බලපත්‍ර ලබාගෙන තිබුණා. අපි මේ වගේ දෙයක් අමාත්‍යාංශ අනුමැතියට යොමු කරනවා. අමාත්‍යාංශයෙන් කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය අවශ්‍ය බව දන්වා තිබුණා. පසුව එය යොමු කළා එම කමිටුවට. අනුමැතිය නොලැබු නිසා කමිටුවක් පත් කළා. ගස් දාහතරකට අනුමැතිය ලැබී වාර්තාව ඇවිත් තිබෙනවා. තවම ගස් කපලා නෑ. මීට පෙර කැපුවා නම් අපි නිහඬ වන්නේ නෑ. පියවර ගන්නවා. සියලු කරුණු ගැන සොයා බලනවා."

මේ වටිනා සම්පත අහිමි වීම පිළිබඳව පළාතට මෙන්ම රටට ද වන විනාශය සුළු පටු නොවේ. මේ නිසා දැඩි පාරිසරික හානියක් ද සිදු වන බව පෙන්වා දෙන ජනතාව රටේ පවතින නීති රීති පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බව ද කියා සිටිති. බලධාරින්ගේ අවධානය මේ සඳහා යොමු වෙතැයි අපේක්ෂා කරති.

මේ වන විනාශය හෙළි කිරීම සඳහා ඡායාරූප ගැනීමට ගිය ලේක්හවුස් මාධ්‍යවේදියාට පාර පෙන්වීම සම්බන්ධව ප්‍රදේශයේ පුද්ගලයකු ද වන විනාශයට උඩගෙඩි දෙන්නන්ගේ පැමිණිල්ලක් මත ඊයේ (14) තලාතුඔය පොලිසියට කැඳවා ඇතත් කාලාන්තරයක් තිස්සේ සිදු වන මේ පාරිසරික වන විනාශය ගැන පොලිසිය ද මුනිවත රැකීම පිළිබඳව ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.

සටහන - ඉන්ද්‍රාණි තෝරදෙනිය
ඡායාරූප - ගාමිණි රණසිංහ 

නව අදහස දක්වන්න