දේශීය වෙදකමටත් රක්ෂණ වරප්‍රසාද | දිනමිණ

දේශීය වෙදකමටත් රක්ෂණ වරප්‍රසාද

ජයසිරි මුණසිංහ

මෙතෙක් බටහිර වෙද ක්‍රමයට පමණක් සීමා වී තිබූ වෛද්‍ය රක්ෂණ වරප්‍රසාදයන්, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ද ව්‍යාප්ත කිරීමට රජය සූදානම් වේ.

මෙය මෙරට රක්ෂණ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි මේ පිළිබඳව “දිනමිණ කප්රුකට” අදහස් දැක්වූ මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාව තුළ සුව සේවා සංචාරක කර්මාන්තය සඳහා ඉතා ඉහළ ඉඩකඩක් පවතින බව කී මුදල් ඇමැතිවරයා, ඊට පවතින ලොකුම බාධාව රජය හැඳිනගත් බව ද කීය.

මේ සම්බන්ධයෙන් ඇති එක් ගැටලුවක් වනුයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙරට රක්ෂණ ක්‍රමවේදයෙන් ආවරණය නොවීමය. එම නිසා විදේශීය රක්ෂණ සමාගම්ද තම රක්ෂණ ආවරණ ලබාදීමේදී ආවරණය කළ හැකියාව පවතින මේ ක්ෂේත්‍රය අමතකකොට ඇත.

මේ දිගුකාලීන ගැටලුව විසඳාලමින් පළමුව දේශීය රක්ෂණ සමාගම් විසින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙත රක්ෂණ පහසුකම් ව්‍යාප්ත කළ යුතු බව මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

වසර 2017 සඳහා වූ අය වැය ඉදිරිපත් කරමින් තමා මේ යෝජනාව ඉදිරිපත් කළ බවද මුදල් ඇමැතිවරයා සිහිපත් කළේය.

දේශීය වෛද්‍ය ක්‍රමයේ පවතින ඉහළ අගය ලෝක ප්‍රජාව වටහා ගනිමින් සිටිති. ඒ නිසාම විදේශිකයෝ ආයුර්වේද වෛද්‍ය සත්කාරක ලබාගැනීම සඳහා අප රටේ සංචාරය කිරීමට පොළඹවා ගත හැකිය. අප මේ සඳහා පුළුල් හා ශක්තිමත් නීති රාමුවක් හා සුපරික්ෂා කිරීම් යාන්ත්‍රණයක් සකස් කළ යුතු වේ. එවැනි දේ ප්‍රවේශමෙන් සිදුකරමින් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි අවස්ථා පුළුල් කිරීමට අය වැයෙන් නව යෝජනා ඉදිරිපත් කොට ඇතැයිද රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.


නව අදහස දක්වන්න