ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

නිරෝෂන් දික්වැල්ල හා ඩිල්ෂාන් මුණවීරගේ ලකුණු 74ක සබඳතාව හා අසේල ගුණරත්නගේ අර්ධ ශතකය මත ශ්‍රී ලංකාව ඊයේ මෙල්බර්න්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු ජාත්‍යන්තර විස්සයි20 තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගත්තේය.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 172ක් රැස්කර ගෙන මේ ජයග්‍රහණය වාර්තා කළේය.

ගුණරත්න ලකුණු 52ක්ද, මුණවීර ලකුණු 44ක්ද, දික්වැල්ල ලකුණු 30ක්ද ලබා ගත්හ.

වසරකට ආසන්න කාලයකට පසුව ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග බිමට පිවිසි ලසිත් මාලිංග ලකුණු 29කට කඩුලු 2ක් ලබා ගැනීමට අමතරව උඩ පන්දු 2ක්ද රැක ගැනීමට සමත් විය. ඒරන් ‍ෆින්ච් හා මයිකල් ක්ලින්ගර්ගේ ලකුණු 76ක ආරම්භක කඩුලු සබඳතාවෙන් පසුව සීකුගේ ප්‍රසන්න හා ලක්ෂාන් සඳකැන් යන දඟ පන්දු යවන්නෝ ඔස්ට්‍රේලියානු ඉනිමේ මැද ඕවරවලදී ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු කළහ.

කඩුලු 6කට ලකුණු 168ක ඔස්ට්‍රේලියානු ඉනිමෙන් පසුව ක්‍රීඩා කෙරුණු පිළිතුරු ඉනිමේදී නායක උපුල් තරංග ට මුහුණ දීමට හැකිවූයේ පන්දු 2කට පමණි. ඉනිමේ පළමු ඕවරයේ පැට් කුමින්ස්ගේ අවසන් වේග පන්දුව තරංගගේ පිත්ත සිපගෙන ටිම් පේන් කඩුලු රකින්නා අතට යන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුනේ මුළු ලකුණු 5ක් පමණි.

තරංගගේ දැවී යාමෙන් පසුව කඩුල්ලේ එක්වූ නිරෝෂන් දික්වැල්ල හා ඩිල්ෂාන් මුණවීර වේගයෙන් ලකුණු රැස් කරන්නට වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර 6 අවසන් විට මුළු ලකුණු 62ක් වාර්තා වී තිබිණි. ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ පළමු ඕවර 6 අවසන් වන විට ලබා ගෙන සිටියේ කිසිවෙකු නොදැවී ලකුණු 47කි. බිලි ස්ටැන්ලේක්ගේ දෙවැනි ඕවරයේදී මුණවීර (හතරේ පහර 3) හා දික්වැල්ල (හයේ පහරක්) ලකුණු 24ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කිරීමට සමත් වූහ.

මුණවීර හා දික්වැල්ල දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 7.5කින් ලකුණු 74ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී 9 වැනි ඕවරය යවමින් සිටි ඇඩම් සම්පාගේ පන්දුවට ‘ෂෝට් තර්ඩ් මෑන්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ක්ලින්ගර් අතට උඩ පන්දුවක් දෙමින් දික්වැල්ල දැවී ගියේය. හතරේ පහර 4ක් හා හයේ පහරක්ද එල්ල කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 25කින් ලකුණු 30ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් නිමා වන විට කඩුලු 2කට ලකුණු 88ක් සටහන් වී තිබිණි. ඔස්ට්‍රේලියානුවෝ ඔවුන්ගේ ඉනිමේ පළමු ඕවර 10 අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 75ක් රැස්කර ගෙන සිටියහ.

එකොළොස් වැනි ඕවරයේදී ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ල බිඳ වැටෙමින් ඩිල්ෂාන් මුණවීර දැවී ගියේය. ඒ කඩුල්ල ලබා ගත්තේද පා දඟ පන්දු යවන සම්පා ය. ‘මිඩ් විකට්’හි සිට ඒරන් ‍ෆින්ච් උඩ පන්දුව රැක ගන්නා විට මුණවීර හතරේ පහර 6ක් සමග පන්දු 29කින් ලකුණු 44ක් රැස්කර ගෙන සිටියේය.

ඇෂ්ටන් ටර්නර් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 18 වැනි ඕවරයේදී කඩුලු 2ක් බිඳ වැටිනි. සිය පළමු ජාත්‍යන්තර විස්සයි20 අර්ධ ශතකය වාර්තා කර සිටි අසේල ගුණරත්න, ටිම් පේන්ගේ ‘ස්ටම්ප්’ කිරීමට හසුව මුළු ලකුණු 151දී දඅවී ගිය අතර ඊට පන්දු දෙකකට පසුව මිලින්ද සිරිවර්ධන කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මුළු ලකුණු 152දී දැවී ගියේය.

පන්දු 37කට මුහුණ දුන් ගුණරත්න හතරේ පහර 7ක්ද එල්ල කරමින් ලකුණු 52ක් රැස් කළේය. ඔහු හා මිලින්ද සිරිවර්ධන (15) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 6.3ක් ඇතුළත ලකුණු 60ක් එක් කළහ.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවසන් පන්දු හයෙන් ලකුණු හයක් අවශ්‍යව තිබිණි. ඒ වන විට කඩුල්ලේ සිටියේ චාමර කපුගෙදර හා සීකුගේ ප්‍රසන්න ය. පස්වැනි පන්දුව අවසන් වන විට ශ්‍රී ලංකාව මුළු ලකුණු 168ක් රැස්කර ගෙන සිටි අතර මේ සමග තරගය සම තත්ත්වයට පැමිණ තිබිණි. අවසාන පන්දුවට කපුගෙදර හතරේ පහරක් එල්ල කිරීමත් සමග ශ්‍රී ලංකාවට කඩුලු 5ක තියුණු ජයක් හිමිවිය. කපුගෙදර නොදැවී 10යි. ප්‍රසන්න නොදැවී 8යි. සම්පා හා ටර්නර් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් මුහුණ දුන් කාසියේ වාසිය උරගා බැලීමේ පළමු අවස්ථාවෙන්ම ජය ගත් උපුල් තරංග පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඔස්ට්‍රේලියානු සංචාරයේ මීට පෙර අගමැතිගේ කණ්ඩායම සමග පැවැති පෙරහුරු තරගයේදී කඩුලු 3ක් ලබා ගත් වේග පන්දු යවන විකුම් සන්ජය ඊයේ මංගල ජාත්‍යන්තර විස්සයි20 වරම් ලැබීය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මයිකල් ක්ලින්ගර්, බිලී ස්ටැන්ලේක් හා ඇෂ්ටන් ටර්නර් ප්‍රථම වතාවට ජාත්‍යන්තර විස්සයි20 තරග බිමට පිවිසියහ. තිස්හය හැවිරිදි ක්ලින්ගර් රෆාටුල්ලා මොහමන්ඩ් (පාකිස්තානය), රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව), ෆ්ලොයිඩ් රීෆර් (කොදෙව්) හා සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) ට පසුව මංගල ජාත්‍යන්තර විස්සයි20 වරම් ලැබූ වයසින් පස්වැනියට වැඩිම ක්‍රීඩකයා වෙයි.

නායක ඒරන් ‍ෆින්ච් හා මයිකල් ක්ලින්ගර් ඔස්ට්‍රේලියානු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර 8 වැනි ඕවරයේ සීකුගේ ප්‍රසන්නගේ පන්දුවට ලකුණක් කරා දිව යමින් ‍ෆින්ච් ඔහුගේ ජාත්‍යන්තර විස්සයි20 ලකුණු 1000 සම්පූර්ණ කළේ ඉන්දියාවේ විරාට් කෝලි ට පිටුපසින් මේ කඩඉමට දෙවැනියට වේගයෙන් පැමිණි පිතිකරුවා ලෙසින් වාර්තා පොතට එක්වෙමිනි.

ෆින්ච් හා ක්ලින්ගර්ගේ ආරම්භක කඩුලු සබඳතාව බිඳ වැටෙන විට තරගයේ ඕවර 10ක් හා පන්දු 3ක් යවා තිබිණි. මුළු ලකුණු 76දී ක්ලින්ගර් දවාලමින් එම කඩුල්ල ලබා ගත්තේ ලක්ෂාන් සඳකැන් ය. හතරේ පහර 4ක් එල්ල කළ ක්ලින්ගර් පන්දු 32කින් ලකුණු 38ක් රැස් කළේය. ලසිත් මාලිංග ‘පොයින්ට්’ ස්ථානයේ සිට දිව එමින් උඩ පන්දුව අල්ලා ගත්තේය.

ෆින්ච් විසින් මඳ වේග පන්දු යවන අසේල ගුණරත්න පිළිගනු ලැබුවේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමිණි. එහෙත් තෙවැනි පන්දුවෙන් ඔහු දවාලීමට අසේල සමත් විය. ෆින්ච් ලබා දුන් උඩ පන්දුව රැක ගත්තේද මාලිංග ය. මෙවර ඔහු උඩ පන්දුව රැක ගත්තේ ‘ෂෝට් ‍ෆයින් ලෙග්’ ස්ථානයේ සිට දිව එමිනි. පන්දු 34කට මුහුණ දුන් ෆින්ච් හතරේ හා හයේ පහර 2 බැගින්ද එල්ල කරමින් ලකුණු 43ක් ලබා ගත්තේය.

16 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් විකුම් සංජයගේ පළමු ජාත්‍යන්තර විස්සයි20 කඩුල්ල වාර්තා විය. දැවී ගියේ මොයිසස් හෙන්රික්ස් ය. ‘ලෝන්ග් ඕන්’ ස්ථානයේ සිට උඩ පන්දුව රැක ගත්තේ චාමර කපුගෙදරය. හෙන්රික්ස් හයේ පහරක්ද සමගින් පන්දු 10කින් ලකුණු 17ක් ලබා ගත් අතර ඔහු හා ට්‍රැවිස් හෙඩ් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 3.4ක් ඇතුළත ලකුණු 30ක් එක් කළහ.

මාලිංග ඔහුගේ අවසන් ඕවරයේදී (තරගයේ 19 වැනි ඕවරය) පිට පිට කඩුලු දෙකක් ලබා ගත් අතර ට්‍රැවිස් හෙඩ් හා ඇෂ්ටන් ටර්නර් දැවී ගිය එම උඩ පන්දු දෙකම රැක ගත්තේ සීකුගේ ප්‍රසන්න ය. ‘ලෝන්ග් ඕන්’ ස්ථානයට උඩ පන්දුවක් දෙමින් හෙඩ් ලකුණු 31කට පළමුව දැවී ගියේය. ඔහු ලකුණු 4ක් ලබා ගෙන සිටියදී දවා ගැනීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකාවට අහිමිව ගියේ ‘පොයින්ට්’හි සිට උපුල් තරංග උඩ පන්දුව අතහැරීම නිසාවෙනි. පන්දු 25කට මුහුණ දුන් හෙඩ් හයේ පහරක්ද එල්ල කළේය.

ඊළඟ පන්දුවේදී ඈෂ්ටන් ටර්නර් ලකුණු 18කට (පන්දු 13) දැවී ගියේය. ප්‍රසන්න ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයේ සිට දිව යමින් උඩ පන්දුව අල්ලා ගත්තේය. ඔස්ට්‍රේලියානු සිවුවැනි හා පස්වැනි කඩුලු බිඳ වැටුනේ මුළු ලකුණු 153දීය.

අවසාන ඕවරයේදී ටිම් පේන් දුවද්දී දැවී ගියේය. ජේම්ස් ෆෝල්ක්නර් නොදැවී ලකුණු 14 යි. ඔස්ට්‍රේලියාව කඩුලු 6 ට ලකුණු 168යි. ලසිත් මාලිංග ලකුණු 29කට කඩුලු 2 යි.

දෙපිල අතර දෙවැනි විස්සයි20 ගැටුම හෙට පැවැත්වේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...