ටෙලිකොම් මෑන්පවර් සේවකයන් ස්ථිර සේවයට | දිනමිණ

ටෙලිකොම් මෑන්පවර් සේවකයන් ස්ථිර සේවයට

ස්වර්ණා විජේකෝන්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මිනිස්බල (මෑන්පවර්) සේවකයන් වසරකට දෙසීය බැගින් නිත්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දා රැස්වූ බවත් එහිදි ගත් තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවසීය.

මේ අනුව 2017 වසර අවසන්වීමට පෙර මෙම පිරිසෙන් සේවකයන් තුන්සියයක් සේවයට බඳවා ගන්නා බවත් සෑම වසරකම සේවකයන් දෙසීය බැගින් බඳවා ගන්නා බවත් ඇමැතිවරයා පැවසීය. එමෙන්ම මිනිස්බල සේව‍කයන් ලෙස වසර හතකට වඩා වැඩි කාලයක් සේවය කළ සේවකයින්ට මෙහිදි ප්‍රමුඛතාව ලබාදෙන අතර ටෙලිකොම් ආයතනයේ සේවය කරන පන්දහසකට අධික වූ නිත්‍ය සේවකයන්ට අසාධාරණයක් නොවන සේ මෙය ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා පැවසීය.

මිනිස්බල සේවකයන් නිත්‍ය සේවයට බඳවා ගැනීමට ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ලය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවත් ඇමැතිවරයා පැවසීය.

ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ‍ජයික් හිල්ටන් හෝටලයේ දී ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම මිනිස්බල සේවකයන් නිත්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් දැන‍ට නිත්‍ය සේවයේ සිටින සේවකයන්ගේ ද යම් විරෝධයක් තිබූ බවයි. එබැවින් දෙපාර්ශ්වයටම අසාධාරණයක් නොවන සේ මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව මෙම සේවකයන් වසරකට දෙසීය බැගින් සේවයට එක්වන බවත් ඇමතිවරයා කීය.එමෙන්ම 2017 වසරේදී මෙම සේවකයින්ගෙන් හාරසියයක් පමණ නිත්‍ය සේවයට එක්වන බවත් ඇමතිවරයා කීය.කෙසේවුවද විෂ්‍ය භාර ඇමතිවරයා ලෙස කටයුතු කළ සෑම ඇමතිවරයෙක්ම පාහේ ටෙලිකොම් ආයතනයට සේවකයින් ඇතුළත් කළද තමන් එකම අයෙකුට හෝ රැකියාවක් ලබා නොදුන් බවත් පවතින ගැටගු කිසිවකුට අසාධාරණයක් නොවන සේ නිරාකරණය කරගැනීම සිය අපේක්ෂාව බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසිය. 

නව අදහස දක්වන්න