ශ්‍රී ලංකාවට අයෝජකයන් එවනවා | දිනමිණ

ශ්‍රී ලංකාවට අයෝජකයන් එවනවා

ආයෝජනය කිරීමට දොරවල් විවර කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඔස්ට්‍රේලියාවේ අයෝජකයන් පෙළඹවීමට තමන් පියවර ගන්නා බව ඔස්ට්‍රේලියා සුළු ව්‍යාපාර නවෝත්පාදන හා වෙළෙඳ අමාත්‍ය පිලිප් ඩෙලඩකිස් මහතා පැවසීය. රටවල් දෙක එක්ව වැඩ කරනවා නම් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බවද ඩෙලඩකිස් මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාර සඳහා සම්බන්ධවීමට උනන්දුවක් දක්වන ඔස්ට්රේ ලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ව්‍යවසායකයන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (16) සහභාගී වූ දිවාභෝජන හමුවක දීය.

මෙම දිවා භෝජන හමුව සංවිධාන කර තිබුණේ වික්ටෝරියා ප්‍රාන්ත කුඩා ව්‍යාපාර නවෝත්පාදන සහ වෙළෙඳ අමාත්‍ය ෆිලිප් ඩෙලඩකිස් මහතාය. දිවාභෝජන හමුවට පෙර වික්‍රමසිංහ මහතා සහ ඩෙලඩකිස් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවන් ද පැවැත්විණි.

දිවා භෝජන හමුව අවස්ථාවේ ඩෙලඩකිස් මහතා කියා සිටියේ රට එක්සේසත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර නිසා ආර්ථික අභියෝගයන් ඉතා පහසුවෙන් ජයගත හැකි පරිසරයක් උදාවී ඇති බවය.

ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තිබෙන්නා වු සබඳතාවන් වැඩි දියුණු කරගත යුත්තේ තමන්ගේ බැඳීමෙන් පමණක් නොව ආර්ථික සංස්කෘතික ජාතික අධ්‍යාපනය හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයන් නඟාසිටුවිමෙන් බවත් ඒ මහතා අවධාරණය කළේය.

වෙළෙඳ කටයුතු සඳහා කොළඹ වරාය ඉතා වැදගත් සංධිස්ථානයක් උසුලමින් පවතින පසුබිමක මෙයින් ප්‍රයෝජන ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය ඉදිරිපත්වීමට අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉවහල් වූ බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීමට හැකි සියලුම පියවර ගෙන ඇති බවත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම තම අරමුණ බව පැවසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා තවත් සහයෝගය ලබා ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාඅන්තය සමඟ සාකච්ඡා අරඹන මෙන් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් හා ඔස්ටේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වඩ වඩාත් ඉහළ මට්ටමට ඔසවා තැබීමට උපරිම සහයෝගය ලබා දෙන බව ද ඩෙලඩකිස් මහතා පැවසු අදහසට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ශ්‍රි ලංකාවේ දූ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එංගලන්තය හා අමෙරිකාව වැනි රටවල් ආගමන විගමන නීති පුළුල් කර ඇති බවත් ඔස්ට්‍රේලියාවෙන් ද එම අවස්ථාව බලාපොරොත්තු වන බවත්ය. 

නව අදහස දක්වන්න