සිසු ගැටුම්වල වගකීම විදුහල්පතිවරුන් සතුයි | දිනමිණ

සිසු ගැටුම්වල වගකීම විදුහල්පතිවරුන් සතුයි

ශිරෝමි අබයසිංහ

ඉදිරියේ දී සිසු ගැටුම් ඇති වුවහොත් විදුහල්පතිවරුන් එහි වගකීම භාරගත යුතු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ඊයේ (16) දැනුම් දුන්නේය.

කොළඹ ආනන්ද, නාලන්ද සහ ඩී.එස්.සේනානායක විදුහල්වල ඇති වූ සිසු ගැටුම් ගැන කරුණු විමසීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා එම විදුහල්වල විදුහල්පතිවරුන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවීය. එම විදුහල්පතිවරුන්ට අමතරව ඉදිරි සතිවල මහා ක්‍රිකට් තරග පැවැත්වෙන ජාතික පාසල්වල විදුහල්පතිවරුන් ද අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා තිබිණි.

 ඉදිරියේ දී මෙවැනි සිදුවීම් සිදු නොවිමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන ඇමැතිවරයා සිසු ගැටුමක් ඇති වුවහොත් එහි වගකීම විදුහල්පතිවරුන භාර ගත යුතු බවද දැනුම් දුන්නේය.

මහා ක්‍රිකට් තරග පැවැත්වෙද්දී ගැටුම් ඇති නොවී සාමය පවත්වා ගෙන යා යුතු බවත් තරග පැවැත්වෙන අතරතුර දී සිසු ගැටුමක් ඇති වුවහොත් විදුහල්පතිවරුන් වගකිව යුතු බවත් අධ්‍යාපන ඇමතිවරයා විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නේය.

පාසල්වල පන්ති මට්ටමින් සිසු ගැටුම් විසඳීම ගැන පන්ති භාර ගුරුවරුන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කරන ලෙසද පැවසුවේය. 

නව අදහස දක්වන්න