ගම්වලත් නගරයෙත් මල් වෙනස් | දිනමිණ

ගම්වලත් නගරයෙත් මල් වෙනස්

රකිඳු වික්‍රමරත්න

අප වෙසෙන නවීන ලෝකයේ, සාර්ථකභාවය මැනෙන උසස් ම මිනුම් දණ්ඩ බවට නවෝත්පාදන ක්‍රියා පත්ව තිබේ. සෑම ක්ෂේත්‍රයකටම අයත් සියලු ආයතන, සමාගම් හා සංස්ථා ඒවායෙහි නිෂ්පාදන හා සේවා සම්බන්ධ සියලු වැඩ කටයුත්තක්ම සන්නිවේදනය, නිපදවීම හෝ ඉටු කිරීම සඳහා නවෝත්පාදන බොහෝ සෙයින් උපයෝගී කර ගනිති.

එහෙයින් නවෝත්පාදන කෙරෙහි විශාල ඉල්ලුමක් රටෙහි පමණක් නොව, මුළු ලෝකය පුරා ම පවතී. එහිදී ඇතිවන එම ඉල්ලුම සපිරීම සඳහා, කුසලතා සහිත පුද්ගලයන් හඳුනාගෙන, ඒ වෙත යොමු කිරීම විශාල අභියෝගයකි. මෙනිසා, නවෝත්පාදන කුසලතා සහිත යෞවනයන්ගේ හැකියා පෝෂණ කිරීම යුගයේ අවශ්‍යතාවකි.

මේ ජාතික අවශ්‍යතාව සපිරීම සඳහා, ප්‍රකට විදුහලක් වන නාලන්දා විද්‍යාලය මඟින් 2013 වසරේදී පර්යේෂණ සංසදයක් පිහිටුවනු ලැබීය. 9 වැනි ශ්‍රේණියේ සිට ඉහළ පංතිවල සිටින සිසුන්ට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකි ය. මෙහි සාමාජිකත්වය දරන ශිෂ්‍යයන් 150 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් මඟින්, අඛණ්ඩව විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ කාර්යයේ නිරත වේ.

එමඟින්, ඔවුන්ට දේශීය හා අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන විවිධ තරගවලට සහභාගි වීමට අවස්ථාව උදාවේ. මේ අනුව ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනය (ඉන්ටෙල් අයිඑස්ඊ.එන්), විද්‍යා ඔලිම්පියාඩ්, ජාත්‍යන්තර පාරිසරික තිරසාර ඔලිම්පියාඩ්, පෘථීවි විද්‍යා ඔලිම්පියාඩ් සහ ජාත්‍යන්තර විද්‍යා ව්‍යාපෘති ඔලිම්පියාඩ්, ජාත්‍යන්තර තිරසාර ලෝක බලශක්ති ඉංජිනේරු පාරිසරික ව්‍යාපෘති ඔලිම්පියාඩ් වැනි ජාත්‍යන්තර තරගවලට දැනට ඔවුන්ගෙන් සමහර දෙනකු සහභාගි වී තිබේ. විශ්වවිද්‍යාල හා ශාස්ත්‍රීය ආයතනවල සිටින ශාස්ත්‍රඥයන්, ඔවුන්ගේ නිර්මාණ කටයුතු පරීක්ෂාවට භාජනය කර ඇත.

විද්‍යාලයේ නවෝත්පාදන අත්හදා බැලීම්වල පෙරමුණේ සිටින සිසුවකු වන රකිඳු වික්‍රමරත්න, එම පර්යේෂණ මඟින් නව සොයාගැනීම් රාශියක් සිදු කර ඇත.

මෙයට අමතරව, ලබන අප්‍රේල් මාසයේ දී ජර්මනියේදී පැවැත්වීමට නියමිත තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන සිසුන් දෙදෙනාගෙන් කෙනකු වී‍මේ අවස්ථාව ද ඔහුට ලැබී තිබේ.

මේ හැර ශ්‍රී ලංකා විද්‍යා පදනම විසින් පවත්වන ලද නිර්මාණ තරගයේදී, අවසාන වටයට තේරුණු විද්‍යාල 842ක තරගකරුවන් පරාජය කර පළමු වැනි ස්ථානය ලබා ගැනීමට ද රකිඳුට හැකිවී ඇත. ‍මේ තරගයේදී පළමුවැනි ස්ථාන දහය ලබාගත් තරුණ නිර්මාණ, ළඟඳී පැවැත්වෙන එම පදනම් ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරේ. ඉන් පසුව අමෙරිකාවේ කැලිෆෝනියා නගරයේ පැවැත්වෙන ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයට ද සහභාගි වීමට ද මේ තරුණයන් දස දෙනාට අවස්ථාව ලැබේ.

* ඔබ‍ගේ ව්‍යාපෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?

නව වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී 2016 ජූලි මාසයේ දී ආරම්භ කරන ලද‍ මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට, මාස හයක පමණ කාලයක් ගතවුණා. මල්වලින් අපට නොපෙනෙන තරම් කුඩා ප්‍රමාණයෙන් පිටවන රේණු ‍කොටස්, අපේ ශ්වසන පද්ධතියේ රැඳීම නිසා ඇතිවන පරාග ආසාත්මිකතාව, කෘශ උණ නමින් හඳුන්වන කාලීන අසාත්මික පීනස් රෝග, එමඟින් වැලඳිය හැකියි.

‍මේ පර්යේෂණයේ අරමුණ වූණේ, කොළඹ නගරයේ මෙන් ම, ග්‍රාමීය ප්‍රදේශවල බහුලව වැවෙන පැළෑටි වර්ග අතර ඇති පරාග රේණුවල, රූපමිතික වෙනස්කම් අධ්‍යයනය කිරීමයි. වායුමය පරාගණය මඟින් පරාග රේණුවල තැන්පත් වන අපවිත්‍රකාරකවල රසායනික සංයුතිය හඳුනා ගැනීමට මේ මඟින් ප්‍රයත්න දැරුවා.

ඒ අනුව සාමාන්‍ය මාර, කහමාර, මැයි සහ නැටුම් මල් වශයෙන් ජනයා අතර ප්‍රසිද්ධ විශාල ගස්වල පරාග වෙන් වෙන්ව ලබාගෙන, මේ පර්යේෂණ කළා. පිළිගත් විධික්‍රම මඟින් සැකසීමෙන් පසුව එම ද්‍රව්‍ය විද්‍යුත් අන්ක්වීෂයකින් පරීක්ෂාවට ලක් කරලා, එම පරාගවල එක්වී තිබූ ද්‍රව්‍ය හඳුනා ගැනීමට උත්සාහ දැරුවා. එම කටයුත්ත, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ, බලශක්ති තැන්පත්වීමේ දර්ශක විශ්ලේෂකය මඟින් සිදු කළා.

මෙහිදී සොයා ගන්නා ලද වැදගත් කරුණක් වූයේ, නගරය තුළ පිහිටි මාර ගස්වලින් ලබාගත් පරාගයන්හි අපද්‍රව්‍ය තැන්පත්වී තිබුණත්, ග්‍රාමීය ප්‍රදේශවලින් ලබා ගත් ලද පරාගවල එවැනි දේ නොමැති වීමයි. මේ තත්ත්වය, නගරයේ පිහිටි කහ මාරගස්වල පරාගවලින් දකින්න ලැබුණේ, ගම්බද ප්‍රදේශවලින් ලබාගත් එම පරාගවල, එවැනි අපද්‍රව්‍ය තොර වීම පිළිබද සටහන් කරද්දියි. මැයි මල් සම්බන්ධ පර්යේෂණවලදී ද මෙයට සමාන තත්ත්වයක් දක්නට ලැබුණා.

බලශක්තිය තැන්පත් වීමේ දර්ශකවල විමර්ශනවලදී පෙනී ගියේ , ප්‍රධාන වශයෙන් කාබන්, ඔක්සිජන් හා නයිට්‍රජන්, (28.08%) මේපරාගනයන් හි තැන්පත්වී ඇති බව හා සමහර ඒවායෙහි ගෙන්දගම් අල්ප (0.15%ක) ප්‍රමාණයක් තැන්පත්වී ඇති බවයි.

* පර්යේෂණ කිරීමට මේ කරුණු තෝරාගත් හේතුව?

කුඩා කාලයේදී මා ඇදුම රෝගයෙන් පෙළුණා. එනිසා මට, යම් ද්‍රව්‍ය එක්වීම මඟින් ඇතිවන ආසාත්මිකතා පිළිබඳ පර්යේෂණ කිරීමට අවශ්‍ය වුණා. පරාගන ‍රේණු බොහෝ රටවලට ප්‍රශ්නයක් බවට පත්වීම තීරණාත්මක කරුණක් වී ඇති බව, මේ ගැන ලේඛන පරීක්ෂණයන් හි යෙදෙන විට මට පෙනීගියා. ඒ අනුව, වායු අපවිත්‍රකාරක ද මෙයට එක් වුවහොත්, තත්ත්වය වඩාත් බරපතළ බව මට පෙනුණා.

එයට අමතරව, සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සංඛ්‍යාලේඛන ඒකකය පෙන්වා දෙන අන්දමට, ඇදුම රෝගයෙන් වැලඳෙන රෝග ස්වභාවය සහ මරණ ප්‍රමාණය අපේ රටේ ඉතා අධිකයි.

* ඔබගේ නිගමනය?

අයනික කොටස් වැනි වාත දූෂක හා වායු උපද්‍රව්‍යකාරක,නයිට්‍රජන්, ඔක්සිජන් හෝ ගෙන්දගම් විදිහට පරාග රේණු මත තැන්පත්විය හැකි බවයි. ගස්වල පරාග, රේණු ද , අපද්‍රව්‍යකාරක, මේද බවට පත්වී, මිනිසුන් තුළ ඇදුම රෝගී ලක්ෂණ ඇතිකරවන්නට උපකාරී වීම මේ තත්ත්වයට සාක්ෂියක්. ඒ අනුව වායු දූෂණය මඟින් මිනිසා පරිසරයට හානි කළ විට, පරිසරය එයට ප්‍රතික්‍රියා දක්වන්නේ, ශ්වසන පද්ධතියට ආසාත්මිකතා ඇතිකරමින්.

* මේ ගැටලුව විසැඳීමට ඔබ කරන යෝජනා?

වායු දූෂණය අවම වන්නේ නම්, ශ්වසන ආසාත්මිකතා ද අඩු වෙනවා.

* මේ පර්යේෂණය පවත්වද්දි, ඔබට මුහුණ දීමට සිදුවූ අභියෝග මොනවාද?

පරාග ‍රේණුවල රූපමිතික වෙනස්කම් අධ්‍යයන කටයුතු හා බලශක්ති තැන්පත් වීමේ දර්ශකයක්ව විශ්ලේෂණය වැනි ක්ෂේත්‍ර අධ්‍යයනය කිරීම සඳහා අප රටේ ඇති පහසුකම් ප්‍රමාණය ඉතා අල්පයි. බලශක්ති තැන්පත් වීමේ ඝනත්වය පිළිබඳ ප්‍රතිඵල ලැබෙන තුරු මට දිගුකාලයක් බලා සිටින්නට සිදුවුණා.

* ඔබගේ පවුල් පසුබිම ගැන යමක්?

මම පවුලේ එක ම දරුවා. කීර්ති වික්‍රමරත්න වන මගේ පියා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විද්‍යාගාර තාක්ෂණ ශිල්පියෙක් විදිහට සේවය කරනවා. මගේ මව ජීවනී ගුණසේකර, අපේක්ෂා රෝහලේ ලේ බැංකුවට අනුයුක්තවී සිටිනවා.

* මේ කටයුතුවලදී ඔබට ආධාර කළ අය කවුද?

මේ සියල්ල මට කිරීමට හැකිවූණේ අපගේ විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා කළ උපකාර නිසයි. නාලන්දා විද්‍යාලයේ පර්යේෂණ සංසදය භාර ආචාර්යවරිය වන උපේක්ෂා අබේසේකර ගුරුතුමිය මට උදවු වෙමින් විවිධ උපදෙස් දුන්නා.

මේ අධ්‍යයනයේදී මගේ සුපරීක්ෂකවරුන් වුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ පැළෑටි විද්‍යා අංශ ප්‍රධාන ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්. එම්. ඩබ්ලිව්. රන්වල, බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්යුත් අන්වීක්ෂ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරී පී. ජී. එස්. එම්. ද සිල්වා සහ එම දෙපාර්තමේන්තුවේ විද්‍යාගාර තාක්ෂණික කේ. වික්‍රමරත්න යන මහත්වරුන්. පාසලේ සෑම දෙනාම මට උදවු කළා. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මහාචාර්ය කේ. එම්. ඩී. නලින්ද සිල්වා මහතාට හා ඒ. ඩී. එම්. දමයන්ති මෙනෙවියට මගේ විශේෂ කෘතඥතාව හිමි වෙනවා.

* ඔබ විවේක කාලය ගත කරන අන්දම?

ස්තුවාෂ් හා ස්ක්‍රැබල් ක්‍රීඩාවන් හි මා නිරත වෙනවා. පර්යේෂණවලදී කළයුතු ලේඛන පරීක්ෂා දැන් මගේ විනෝදාංශ වෙලා.

* ඔබගේ අරමුණ කුමක්ද?

ගුවන් යානා ඉංජිනේරුවරයකු බවට පත් වීමට මම අපේක්ෂා කරනවා.

* පර්යේෂණ කිරීමට කැමැති අන් සිසුනට ඔබ දෙන පණිවිඩය?

ලෝකයට තවත් දැනුමක් අවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. ජෝටයි නම් විද්වතා කියන අන්දමට, නව දැනුම ලැබෙන්නේ පර්යේෂණ මඟිනුයි. ඒ අනුව මා කටයුතු කරනවා. පර්යේෂණ හා නවෝත්පාදන ඉතා වැදගත්. එමඟින් නවෝත්පාදන බිහිකර ගැනීමට උත්සාහ කරනවා.

ගුණරත්න රාමනායක

නව අදහස දක්වන්න