අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් කිරුළ එස්.එස්.සී දිනා ගනී | දිනමිණ

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් කිරුළ එස්.එස්.සී දිනා ගනී

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ශූරතාව දිනා ගැනීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය සමත් විය.

අවසන් සතිය වනතෙක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ශූරතාව අබියස සිටි හලාවත ක්‍රීඩා සමාජය රාගම පිල හමුවේ පරාජයට පත්වීමෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට වැටිණි. ඒ හේතුවෙන් ඔවුන් අනුශූරතාව හිමිවූ අතර සී.සී.සී පිලට එරෙහිව ලකුණු 84ක ජයක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ශූරතාව අත්කර ගැනීමට එස්.එස්.සී පිලට හැකි විය.

අවසන් සතියට අදාළව පැවැති අනෙක් තරගවලින් එන්.සී.සී පිල ලකුණු 176කින් යුද හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත්කළ අතර ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව කෝල්ට්ස් පිල ලකුණු 182කින් ජය ගැනීමට සමත් විය. මෙවර තරගාවලියේ ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සධීර සමරවික්‍රම සමත් වූ අතර පන්දු යවන්නන් අතර පෙරමුණ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාරට හිමිවිය.

තරගය 10කට එක්වූ සධීර සමරවික්‍රම ශතක 3ක් හා අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 1016ක් රැස්කිරීමට සමත් විය. දෙවැනි ස්ථානයේ පසුවූ නිපුන් කරුණානායකට ලකුණු 1000 සම්පූර්ණ වීමේ අවස්ථාව අහිමිවී ගියේ ඔහු ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළඟ ශූරතාව වටයේ තරග වැදීම හේතුවෙනි. ඔහු තරග 9කදී ලකුණු 926ක් රැස්කර තිබිණි. ඇන්ජලෝ පෙරේරා ලකුණු 908ක් සමගින් (එන්.සී.සී) තෙවැනි ස්ථානයට පත්විය.

මලින්ද පුෂ්පකුමාර තරග 9කදී කඩුලු 77ක් බිඳ දැමීමට සමත්වූ අතර එංගලන්තය ලයන්ස් පිල තරගාවලියට එක්ව ඇති බැවින් ඔහුට අවසන් සතියේ තරගයට සහභාගිවීමට නොහැකි විය.

කඩුලු 57ක් දවාගනිමින් මලිත් ද සිල්වා (බ්ලූම්ෆීල්ඩ්) දෙවැනි ස්ථානයට පත්වූ අතර බී.ආර්.සී කණ්ඩායමේ දිනුක් හෙට්ටිආරච්චි (52) තෙවැනි ස්ථානයට පත්විය.

පළඟ ශූරතාව සැරසන්ස්ට

මේ අතර මෙවර තරගාවලියේ ‘ඒ’ කොටසේ පළඟ ශූරතාව දිනා ගැනීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කණ්ඩායම් 6ක් සහභාගිවූ පළඟ ශූරතා වටයේදී සහභාගිවූ සියලුම තරගවලින් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 61.310ක් සමගින් ශූරතාව හිමිකර ගත්තේය.

මූලික වටයේ දී ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු සැරසන්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ 6වැනි ස්ථානයට පත්ව සිටි අතර පළඟ ශූරතා වටයේදී ඉදිරියට පැමිණීම කැපී පෙනුණි. එම වටයේ දෙවැනි ස්ථානය තරග 4ක පළමු ඉනිමේ ජයග්‍රහණ සමගින් ප්‍රසාද ලකුණු 54.100ක් ලබාගත් බී.ආර්.සී. පිලට හිමිවිය.

ඉරෝෂ් සමරසූරිය තරග 9කදී ලකුණු 583ක් රැස්කරමින් පළඟ ශූරයන්වූ සැරසන් පිලේ වැඩිම ලකුණුලාභියා වූයේ ශතකයක් හා අර්ධ ශතක 5ක් සමගිනි. සංගීත් කුරේ ශතකයක් හා අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 569ක් රැස් කළේය. තරග 9කදී කඩුලු 39ක් බිඳ දැමූ සුරාජ් රන්දීව් සැරසන්ස් කණ්ඩායමේ මෙවර තරගවාරයේ වැඩිම කඩුලුලාභියා විය. කසුන් රජිත කඩුලු 37ක් බිඳ දමා තිබේ.

නව අදහස දක්වන්න