පවුලේ ඉතිහාසයෙන් කතා ගොතන සෙබස්ටියන් බැරී | දිනමිණ

පවුලේ ඉතිහාසයෙන් කතා ගොතන සෙබස්ටියන් බැරී

 සෙබස්ටියන් බැරී, අයර්ලන්ත ලේඛක නාමාවලියේ මුල් පෙළෙහි සිටින්නෙකි. හොඳම නවකතාව සඳහා පිරිනැමෙන කොස්තා සම්මානය දෙවරක් දිනු එකම ලේඛකයා වෙමින් ඔහු මේ වසරේදී ඉංග්‍රීසි සාහිත්‍ය ක්ෂේත්‍රයේ අවධානයට ලක්විය.

1971 දී ආරම්භ වූ වයිට්බ්‍රෙඩ් සම්මානය පසු කලෙක, කොස්තා කෝෆී ව්‍යාපාරයේ අනුග්‍රහය ලැබූ පසු එනමින් හැඳින්වුණි. කොස්තා කොෆී ද, වයිට්බ්‍රෙඩ් ව්‍යාපාරයේම උප ආයතනයකි.

(ශ්‍රී ලංකාවේ රයිගම් සම්මාන, ෆෙයාර්වේ සම්මාන මතකයට නැ‍ඟේ.)

බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ ගත්කරුවනට පමණක් මෙම සම්මානය සීමාවන නමුදු, ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නැත. එම රටවල පුරවැසි බව ලබා සිටින අන්‍ය ජාතිකයිනට වුව තරගයට ඉදිරිපත් විය හැකිය.

හොඳම නවකතාව, කාව්‍ය, ළමා සාහිත්‍ය කෘතිය හා චරිතාපදාන යන අංශයන් සඳහා කොස්තා සම්මාන පිරිනැමේ. අප්‍රකාශිත කෙටිකතා සඳහා ද ත්‍යාග තුනක් පිරිනමන අතර, ප්‍රථම නවකතාව පළ කළ ගත්කරුවන්ගෙන් කෙනකුටද විශේෂ ත්‍යාගයක් ප්‍රදානය කෙරේ.

පොදු පාඨක ප්‍රසාදයට ලක්විය හැකි සුපාඨනීය ගුණයෙන් යුතු නවකතාවකට (Most Enjoyable Book) ත්‍යාගය පිරිනැමීම කොස්තා විනිශ්චයේ ස්වභාවයකි. එහෙයින් බුකර් සම්මානයට වඩා කොස්තා සම්මානය ‘ජනප්‍රිය’ යැයි මතයක් ඇත. ත්‍යාග මුදල පවුම් 30,000කි.

සෙබස්ටියන් බැරීට සම්මානය හිමිවන්නේ 2016 දී පළ කළ Days without end (නිමාවක් නැති දවස්) නවකතාවටය.

මෙහි කතා වස්තුව 1850 තරම් ඈතකට දිව යයි. එහි ප්‍රධාන චරිත වන්නේ එකල අයර්ලන්තයේ පැවති දරුණු දුර්භික්ෂයෙන් ගැලවීම සඳහා කැනඩාවටත්, එතැනින් අමෙරිකාවටත් පළා ගිය තෝමස් මැක්නල්වි නැමැති තරුණයකු හා ඔහුට එහිදී හමුවන ජෝන් කෝල් නමැති අමෙරිකානුවෙකි.

මේ දෙදෙනාම ජීවිකාව සඳහා විනෝදාත්මක වේදිකාවන්හි ‘පිරිමි නළඟනන්’ (Cross dressing entertainers) ලෙසින් රඟපාති. ඔවුන් කොතරම් ‘සුන්දර’ වී දැයි ‍කිවහොත් එම සංදර්ශන නැරැඹීමට පැමිණෙන, හුදෙකලා ජීවිත ගත කරන පතල් කම්කරුවෝ ඔවුනට විවාහ යෝජනා ගෙන එති. වටිනා ත්‍යාග පිරිනමති.

තොමස් හා ජෝන් අතර සමීප සම්බන්ධතාව, සමලිංගික ඇසුරක් බවට පත්වෙයි. තෝමස් තම අමෙරිකානු මිත්‍රයා ‘බිරිය’ කර ගනී. ඔව්හු අමෙරිකානු අනාථ දැරියක හදා වඩා ගනිති. මේ කාලයේ අමෙරිකානු හා ස්පාඤ්ඤ සිවිල් යුද්ධ ආරම්භ වන අතර මේ දෙදෙනාටද සෙබළුන් වීමට සිදුවෙයි. යුද්ධය ඔවුන්ගේ ජීවිතවල පැවති සුන්දරත්වය විනාශ කර දමයි.

මෙම නවකතාව ලියන කාලයේ, තම පුතාද සමලිංගික ප්‍රේමය අගයන්නකු බව දැන ගන්නට ලැබුණු බව පවසන සෙබස්තියන්, සම්මානය ලද රාත්‍රියේ ස්කයිප් මගින් කතා කොට ඔහුට ඒ බව දන්වයි.

‘එදා මම මගේ පුතාට මේ පොත පිළිගැන්වූවා. ඔහු කියු කිසිවක් මට ඇසුණේ නැහැ. එහෙත් ඔහුගේ මුහුණේ උතුරාගිය ප්‍රීතිය මට තවත් සම්මානයක් වුණා.’

සමලිංගික ප්‍රේමය නීතිගත කරනු පිණිස අයර්ලන්තයේ පැවති කතිකාවේදී, සෙබස්තියන්ද ඊට පක්ෂව අදහස් දක්වමින් ලිපියක් ලිවීය. ඔහු එය තම පුතුට පෙන්වීය. එය කියැවු පුතා හඬන්නට වූ බව සෙබස්ටියන් පවසයි.

කොස්තා සම්මාන විනිශ්චය මණ්ඩලයේ මහාචාරිනි කේට් විලියම්ස් කියා සිටියේ, සමලිංගික ප්‍රේමය පිළිබිඹු වුවද, එය ගැඹුරු මිනිස් සබඳතාවක් හා අත්දැකීමක් ලෙස නිරූපණය කිරීමට සෙබස්ටියන්සමත්ව සිටින බවය.

2008දී කොස්තා සම්මානය හිමි වුණේ, සෙබස්ටියන් බැරීගේ The secret Scriptures නවකතාවටය. ඔහු Water Colourist (1983) හා The Rhetorical Town (1985) යනුවෙන් පද්‍ය සංග්‍රහ දෙකක්ද පළ කර තිබේ.

මුල් කාලයේදී සෙබස්ටියන් බැරී ප්‍රකටව සිටියේ අයර්ලන්ත නාට්‍යකරුවකු ලෙසය. නාට්‍ය 14ක් රචනා කොට ඇති ඔහු ජාත්‍යන්තර කීර්තියට පත්වන්නේ Steward of Christendom නාට්‍යයෙනි.

සෙබස්ටියන්ගේ නිර්මාණ බොහෝමයක් ‘පවුලේ ඉතිහාස කතා’ නමැති ශානරයකට ඇතුළත් කළ හැකි යැයි ඇතැම් විචාරකයෝ කියති. එය අනුමත කරන සෙබස්තියන්ද, තමා අයර්ලන්තයේ උපන් ගම හා පවුලේ ඉතිහාසය වෙත දිව යන්නේ කිරි සොයා යන වසු පැටවකු මෙනැයි සිනාමුසුව පවසයි. ඔහුගේ නවකතා තුළ මෙන්ම නාට්‍ය තුළද, එකම චරිත හමුවන්නේ එහෙයිනි.

සෙබස්ටියන්ගේ මීමුත්තා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර විසූ පොලිස් සුපිරින්ටන්ඩන්ට් වරයෙකි. 1913 දී පමණ එහි සිදුවු වෘත්තීය සමිති අරගලයක් මර්දනය සඳහා ඔහු මැදිහත්වන අතර එහිදී පුද්ගලයෝ සිව් දෙනෙක් මිය යති. මෙය ඔවුන්ගේ පවුලටද අපකීර්තියක් ගෙන දෙයි. එහෙයින් පසුකාලීනව බැරි පවුලේ ඉතිහාසය තුළ ‘මීමුත්තා’ වසං කෙරෙයි.

නාට්‍යය තුළ නැවත උපදින්නේ ඉතිහාසය තුළ සඟවා තැබු ඒ මිනිසාය.

තොමස් ඩන් නමැති එම චරිතය නාට්‍ය ආරම්භයේදී දිස්වන්නේ මානසික රෝගීන් සඳහා වෙන්වු ප්‍රාදේශීය වැඩිහිටි නිවාසයකය. තමා බලාකියා ගන්නා උපස්ථායක හා උපස්ථායිකාව සමඟ අතීත මතකයන් පවසන තොමස් ඩන්ගේ අසාර්ථක ජීවිතයේ අවස්ථාවන් නාට්‍ය අංක දෙකක් තුළ කැටි වෙයි.

තොමස් ඩන්, පොලිස් නිලධාරියෙකුව සිටියදී බ්‍රිතාන්‍ය රජ කිරුළට පක්ෂපාතීව කටයුතු කරයි. එහෙයින් අයර්ලන්තයට නිදහස ලැබීමද ඔහු ප්‍රිය නොකරයි.

පළවෙනි ලෝක යුද්ධයේදී මිය ගිය තොමස් ඩන්ගේ දරුවා, යුද හමුදා ඇඳුමින් සැරසුණු 13 හැවිරිදි දරුවකුගේ වේශයෙන් තම පියා හමුවන්නට එයි. ඔවුන් දෙදෙනා අතර සංවාදයෙන් බ්‍රිතාන්‍ය අයර්ලන්තය හා නූතන අයර්ලන්තය පිළිබඳව මතවාද ප්‍රකාශ කෙරෙයි.

මෙම නාටකය අධ්‍යක්ෂණය කළේ ස්ටීවන් රොබ්මන්ය. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ප්‍රවිණ රංගධරයෙකු වන බ්‍රයන් ඩෙන්හි (Brian Dennehy) ය. ඩෙන්හි පවසන අන්දමට මෙය අවධානයෙන් නැරැඹිය යුතු සංකීර්ණ වූ දුෂ්කර වූද නාට්‍යයකි.

තොමස් ඩන්ගේ දරුවන්ගෙන් ඉතිරිව සිටින්නේ අවිවාහක දියණිය වූ ඈන් පමණි. ඇය තම පියා හා කරන කතාබහ ඉතා සංවේදිය. තනිවු ආත්මයන් දෙකක් එකට මුණ ගැසෙන අයුරු, ගැඹුරු මානුෂික අත්දැකීමක් බවට පත්වෙයි. ඈන්ද , සෙබස්තියන්ගේ පවුලේ ඉතිහාසය තුළින් සොයා ගත් චරිතයකි. නාට්‍ය තුළට ඇය ගෙන ඒමෙන් නොනවතින ඔහු ඇගේ ජීවිතය තේමා කර ගනිමින් ‘Annie Dunne’ නමින් නවකතාවක්ද ලිවීය.

2016 කොස්තා සම්මාන උළෙලේදී හොඳම නවකතාවට හිමි ත්‍යාගය දෙවෙනි වරටත් ලැබීම පිළිබඳව සෙබස්ටියන්තම සතුට පළ කරන්නේ ඉතා නිහතමානීවය.

‘ඇත්තෙන්ම මා පොඩි ළමයෙක් වගේ සතුටු වෙනවා. ඒ සතුට මා සමඟ නිර්දේශිත අනෙක් නවකතාකරුවන් සිවුදෙනා සමඟත් බෙදා ගත්තා. ඔවුන්ද විශිෂ්ට ලේඛකයින්. අනික් අතට අපි කවුරුවත් අශ්ව රේස් එකකට ආවා නෙවෙයි නේ. අපි අශ්වයොවත්, ජොකියොවත් නෙවෙයි. අපි සහෝදරාත්මක හැඟීමෙන් පුතු කණ්ඩායමක්’ ස්වභාවයෙන්ම උපහාස කියමනෙහි බුහුටියකු වන සෙබස්ටියන්එසේ පවසයි.

මෙවර කොස්තා සම්මාන ප්‍රදානයේදී හොඳම නාට්‍ය ලෙස තෝරා ගැනුණේ ඇලිස් ඔස්වල්ඩ්ගේ ‘Falling Awake’ ය. චරිතාපදානය කෙගී කැරීව්ගේ ‘Dadland’ ය .

ළමා සාහිත්‍ය කෘතිය ලෙස තේරුණු බ්‍රයන් තොනැගන්ගේ ‘The Bombs that Brought us together’ කෘතිය ප්‍රකාශකයන්ගෙන් 217 වතාවක්ම ප්‍රතික්ෂේප වූවකි. එම ඉවසීම හා කැපවීම පමණක් වුව, සම්මානයක් සඳහා ප්‍රමාණවත් නොවන්නේද?

කපිල කුමාර කාලිංග
[email protected]

නව අදහස දක්වන්න