ඇස් කණ්ණාඩි ගලවා පින්ක් නැරැඹුවෙමි | දිනමිණ

ඇස් කණ්ණාඩි ගලවා පින්ක් නැරැඹුවෙමි

 නීතිය, අපරාධවේදය සහ රචනා ආදී ඇස් කණ්ණාඩි ගලවා ‘පින්ක්’ ඉන්දියානු සිනමාපටය නැරඹුවෙමි. ගැහැනියක සහ මවකටත් වඩා මනුෂ්‍යයකුගේ ඇසින් බලද්දී ‘පින්ක්’ යනු චිත්‍රපටියකටත් වඩා ධර්ම පාඩමකි. සියලු ආගම්වල, සියලු රටවල මිනිසුන් විසින් කෙසේ හෝ තේරුම් ගත යුතු කතාවකි. දිල්ලියේ සැපපහසු වටපිටාවක කුලී නවාතැනක සිටින, රැකියාවල නිරත, නිදහස් තරුණ ගැහැනුන් තිදෙනකු කුහක පිරිමි කිහිප දෙනකුත්, තමන්ගේම සමාජ ක්‍රමය නිසා පත්වෙන අවාසනාවන්ත තත්ත්වයත්, බුද්ධියත්, මනුෂ්‍යත්වයත්, නීතියත් නිසා කනපිට පෙරළෙන, එසේ පෙරළීමේ අවශ්‍යතාව බල කිරීමේ කතාව ‘පින්ක්’ සිතුවම් කරයි. ඒ නිසා සාමාන්‍යයෙන් චිත්‍රපටියක් වෙනුවෙන් කෙරෙන විවේචන විචාර වෙනුවට, ඒ කතාව ගැන කියන්නට මම කැමැති වෙමි.

රන් රුවනින් සැරසී රටේ ඒ කෙළවරේ සිට මේ කෙළවරට තනිවම ගමනක් යන්නට තරම් ආරක්ෂිත වටපිටාවක් තිබුණා යැයි කියන ශ්‍රී ලංකාවේ පවා, ගැහැනු දරුවකු ලෙස වැඩුණු මට නිදහස භුක්ති විඳීමේ සහ, නිර්භීත වීමට සීමාවක් තිබිණි. ගිය අවුරුද්දේ පවා මා ශ්‍රී ලංකාවේ නිවාඩුවට ආ ගමනේදී, හෝර්ටන් තැන්නේ ඇවිදීමට ගොස් මුහුණදීමට වූ ඉතාම අශ්ලීල අත්දැකීම ව්‍යසනයක් නොවී කෙළවර වූයේ මා සමඟ අප කණඩායමේ තව පිරිමි තුන්දෙනෙක් සිටි බැවිණි. එම පිරිමි කල්පනාකාරීව තත්ත්වය මඟ නොහැරියේ නම් මා ඇඳ සිටි ඇඳුමත්, එතැන මා කුමක් කළේද යන කාරණාත් ගැටලුසහගත වන බව මම දනිමි.

ගැහැනියගේ ඇඳුම, ඇය විසින් හැසිරෙන තැන, වේලාව අනුව ඈ වෙත සිදුවෙන අපරාධයේ තරම තීරණය වන තැනකට සමහර පිරිමින්ගේත්, ගැහැනුන්ගේත් ම්ලේච්ඡත්වය ඉහවහා යන්නට තරම් ආගම, ධර්මය, සංස්කෘතිය, සදාචාරය වැනි දෑ රකින්නේ යැයි කියනා රටවලට සිද්ධ වී ඇත්තේ කුමක් ද?

ස්ත්‍රී දූෂණ, ළමා අපරාධ ලෝකයේ සෑම රටකම සිදු වේ. ඒවා මනුෂ්‍ය වන අප විසින්ම සිදු කරන අපරාධ නිසා මිනිසුන් වන අප විසින්ම එකඟ වූ නීතීවලට අනූකූලව දඬුවම් ලැබෙන වැරදි වේ. අපරාධයට හේතුව ගැහැනියගේ ඇඳුම, චරිතය, ඈ විසින් ගැවසෙන තැන, ඇගේ ආහාර පාන අනුව තීරණය නොවේ. පිරිමින් හා උරෙන් උර ගැටී ලෝකය කරවන ගැහැනියට, ලිංගික අපරාධයක් වූ විටදී ඒ වසා දමන්නට හෝ ඒ ඇගේ වරද ලෙස පෙන්වා ඔප්පු කරන්නට තරම් පහත් තැනකට මාතෘ මූලික සමාජ පත්වන්නේ කෙසේද කියාවත් ඔබට සිතා ගන්නට පුළුවන්ද?

තරුණ ගැහැනුන් තිදෙනකු සංගීත සංදර්ශනයකින් පසුව මිතුරන් සමඟ සාදයට ගොස්, තමන් විසින් මිතුරන් කියා අඳුනාගත් අය විසින්ම ලිංගික අපරාධයන්ට ගොදුරු වීමට ගොස්, ඉන් බේරී පලා ආ පසුව, අපරාධකරයන්ගෙන් පමණක් නොව, අසල්වැසියන්, පොලිසියෙන්, රැකියා ස්ථානවලින්, පෙම්වතුන්ගෙන් පවා නැවත හිරිහැර වීම ‘පින්ක්’ චිත්‍රපටියේ සියුම් ලෙස ඉදිරිපත් වේ. ඒ කතාව මගේ කතාව යැයි කියන්නට ඉන්දියාවේ ගැහැනුන් ඕනෑ තරම් ඇත.

මා කලින් කීවා සේ අපරාධවේදය, නීතියට ඉහළින් මිනිස්කම තබා අද කාලයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල, සැබෑවට විසඳිය යුතු මානුෂික ප්‍රශ්නයක් දැවැන්ත කතාබහකට ලක් කරන්නට තරම් නිර්භීත වන්නේ අනුරුද්ධ රෝයි නැමැති කලාකරුවාය. ඔහුට අධ්‍යක්ෂක නොකියා කලාකරුවෙක් යැ‍යි කියන්නේ කලාව මිනිස්කම වෙනුවෙන්, වර්තමාන ප්‍රශ්නයක් විසඳන්නට යොදා ගැනීම ගැන කෘතඥපූර්ව වීමක් හැටියටයි. එසේම, සිනමාවේ සක්විති රජෙක් ලෙස ඔටුන්නක් මිනිසුන් විසින් පැළැඳවූ අමිතාබ් බච්චන් වැනි බලපුළුවන්කම් ඇති කලාකරුවකු මිනිසුන් විසින් තමන්ට ලබා දුන් ඒ බලපුළුවන්කරකම උපකාර කර ගන්නේ මිනිසුන් විසින් අවධානය යොමුකළ යුතු කතාවක් කියන්නටය. ඔහුට උත්තමාචාර හිමි විය යුතුය. වුවමනා නම් ඉන්දියාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පවා පතාක යෝධයකු විය හැකි එවැනි මිනිසෙක් තමන්ගේ ප්‍රතිරූපය අවදානමකට පත්වීමට ඉඩ ඇති වීම මායිම් නොකර විශ්‍රාම ගිය, ව්‍යධිත නීතිඥවරයකුගේ චරිතයට පණ පොවා ඉන්දියාවේ සමාජය විවාදයකට රැගෙන එන්නේ, ගැහැනිය යන මිනිසා වෙනුවෙනි. දිනෙක වැඩී නොබියව පය තබන්නට තමන්ගේ මිනිබිරියට ඉඩක් ඇති ලෝකයක් ඇති වෙනු දකින්නට ඒ පිරිමියාට සමහරවිටෙක වුවමනාවක් ඇතුවා විය හැකිය. හැම පිරිමියකුම, හැම ගැහැනියක්ම තමන්ට හැකි අයුරින් ඒ යුතුකම ඉටුකළ යුතු බව කියන්නට ‘පින්ක්’ චිත්‍රපටිය සැබෑ සටනක නියැළෙයි.

මේ තරම් පැසසුම් ලබන්නට සිනමාපටයක තිබිය යුතු ගුණාත්මක බව ‘පින්ක්’ සිනමාපටයේ නැති යැයි ඔබට සිතෙනු ඇත. එහි වැරැදි ඔබට පෙනෙනු ඇත. ඔබේ කලාකාරී, විද්වත් කණ්ණාඩි ගළවා මිනිසුන් ලෙස ‘පින්ක්’ නරඹන්නට මුලින්ම ඔබට මා ආරාධනය කළේ ඒ නිසයි. ගැහැනිය දූෂණය වන්නේ ඇගේ වරදින් යැයි සිතනා සමාජයේ පිරිසකට ඒ වැරදි බව කියන්නට හොඳම ක්‍රමයක් ලෙස සිනමාව ඒ මට්ටමින් යොදාගැනීම ඉතාම ප්‍රායෝගික උපක්‍රමයක් ලෙස මම දකිමි. ඒ නිසා අපරාධය තවත් අපරාධවලින්, අවනීතියෙන් සහ කුහකකමින් සාධාරණීයකරණය නොවන, නීතියකින් දඬුවම් පැමිණවෙන නිවහල් සමාජයක් ඇතිකරගැනීමට, ගැහැනිය එවැනි සමාජයක මිනිසකු බව ප්‍රතික්ෂේප නොවීමට මිනිසුන් විසින් කෙරෙන වෑයමක එක් පියවරක් ලෙස ‘පින්ක්’ චිත්‍රපටය ගැන සටහන් තැබීමට මම කැමැති වෙමි.

හිමාලි එන්. ලියනගේ
[email protected] 

නව අදහස දක්වන්න