රටක හදගැස්ම සමඟ තිස්පස්වසක් | දිනමිණ

රටක හදගැස්ම සමඟ තිස්පස්වසක්

 පන්තිස් වසරකට පෙරාතුව සොඳුරු සැලළිහිණියෙක් ළබැඳි සංකේතයක් වෙමින් රූප පෙට්ටියේ ලැගුම්ගත්තේ මෙරට ජන හද හඳුනාගනිමිනි. “තරව සිහි ඇතිව පරතෙරට යන අටින්” ඇරැඹූ ඒ ගමන අද ‘ජාතියේ ජීවනාලිය’ බවට පත්ව ඇත. ජාතික රූපවාහිනිය හෙවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලෙසින් ප්‍රේක්ෂක හද බැඳගත් නාළිකාව පෙබරවාරි මාසයේ සති ගණනක් පුරා සමරන්නේ තිස්පස් වැනි සංවත්සරයේ උත්කර්ෂයයි. වාණිජ පරමාර්ථයන්ගෙන් ඔබ්බට ගිය සමාජ සද්කාර්යයන් රැසක් මෙවරද ඔවුන්ගේ එම සැමරුමේ විශේෂාංගය වී තිබේ.

මෙරට ඇරඹුණු මුල්ම විද්‍යුත් නාළිකා අතරින් ජාතික රූපවාහිනිය පෙරමුණ ගනී. එය ලාංකේය ප්‍රේක්ෂකයන්ට පමණක් සීමා නොවී දකුණු ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ද හදවත් මූලාරම්භයේදීම දිනාගත්තේය. වැඩසටහන්වල ගුණාත්මකභාවය මෙන්ම වර්ණයෙන් වැඩසටහන් නිෂ්පාදනයවීම ද මේ සඳහා බලපෑ වැදගත් හේතු සාධකයක් විය.

ලංකාවට ජාතික නාළිකාවක අවශ්‍යතාව දැනී ඒ සඳහා පිඹුරුපත් සැකසුණේ ඩී.බී. විජේතුංග මහතා 1977 ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍යව සිටි කාලයේදීය. මුලින් ඊට ජර්මනියේ සහයෝගය ලැබීමට නියමිතව තිබුණ ද එය ඉටු නොවීය. පසුව ජපානයෙන් ලද ත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රටට හිමි විය. විශේෂයෙන්ම ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් හා ජපානය අතර පැවිත රාජ්‍ය තාන්ත්‍රික මිතුදම ඊට බලපෑවේය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1980 මාර්තු 04 වැනිදා රූපවාහිනී සංස්ථාවේ පළමු මැදිරි සංකීර්ණයට මුල්ගල් තැබුවේය. 1981 වසරේ සභාපතිවරයා ලෙස එම්. ජේ. පෙරේරා මැතිතුමා පත්විය. නාළිකාවේ ප්‍රථම සජීව විකාශය බවට පත් වූයේ දෙවැනි එළිසබෙත් මහ රැ‍ජිනගේ ලංකා ගමනයි.

එම්.ජේ. පෙරේරා සභාපතිවරයා 1982 පෙබරවාරි 15 වැනිදා ජාතික රූපවාහිනිය නිල වශයෙන් ඇරඹීමට පියවර ගත්තේ මෙරට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ විද්වතුන් ආයතනයේ සේවයට බඳවා ගනිමිනි. අධ්‍යාපන, ළමා, නාට්‍ය, ප්‍රවෘත්ති, ක්‍රීඩා, කාන්තා, වාර්තා ආදී විවිධ අංශ සඳහා තෝරාගත්තවුන් අතර ටයිටස් තොටවත්ත, ධම්ම ජාගොඩ, ලූෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල, බන්දුල විතානගේ, හෙන්රි ජයසේන, තිලක් ජයරත්න, සාලමන් ෆොන්සේකා, ඉන්ද්‍රානි හේරත්, සෝමසිරි ඉලේසිංහ, වැන්නෝ සිටියහ. ඔවුන් සමඟ දෙවැනි පෙළක් ද සේවයට බඳවාගැනීම එම්.ජේ. පෙරේරා සභාපතිවරයාගේ දුරදක්නා නුවණේ තවත් ප්‍රතිඵලයකි.

ජාතික රූපවාහිනිය ඹූලාරම්භයේ සිටම ජපානයේ NHK, මැලේසියාවේ ABV නාළිකා සමඟ සබඳතා පවත්වාගෙන යාමත් මෙරට වෙනත් විද්‍යුත් නාළිකාවක දැකිය නොහැකි විශේෂත්වයකි. ජාත්‍යන්තර මාධ්‍ය සමඟ ජාතික නාළිකාව සම්බන්ධවීමේ තවත් වැදගත් පියවරක් වූයේ 1986 පමණ ඇරඹි අන්තර්ජාතික වශයෙන් ප්‍රවෘත්ති හුවමාරු කිරීමේ වැඩසටහනයි. එමෙන්ම අන්තර්ජාතික වශයෙන් වැඩිම සම්මාන ගණනකට පාත්‍රවී ඇති නාළිකාව වන්නේ ද ශ්‍රී ලංකා රූපවාහිනියයි.

මෙරට බොහෝ නාළිකා සමාජ සද්කාර්යයන් ඇරඹුවේ සුනාමි ව්‍යසනයත් සමඟ වුව ද ජාතික රූපවාහානිය එයට පුරෝගාමී වූයේ ඊට කලකට පෙරය. වැලිවේරියේ දිළිඳු පවුලක මවත්, පියත් අකුණක් වැදී මිය යාමෙන් පසු තනිවූ කුඩා දියණියකට හා පුතකුට ප්‍රේක්ෂක අනුග්‍රහයෙන් නිවෙසක් තනාදීම එම පළමු සද්කාර්යයි. පසුව එම දියණියගේ විවාහය ද රූපවාහිනියේම වැඩසටහන්වල සම්පත් දායකයන් දායක කරගෙන සිදුකිරීම සුවිශේෂී කරුණක් විය.

ශ්‍රී ලාංකේය රූපාවාහිනී මාධ්‍යයේ දෙබස් කැවූ මුල්ම ‘සැකිලි රූ” (කාටුන්) වැඩසටහන ටයිටස්, තොටවත්ත මහතාගේ ‘අහල පහළ’, ‘ලොකු බාස් පොඩි බාස්’ අදටද ලෝ ප්‍රකට විශ්ව සම්භාවනාවට පාත්‍රවූ නිර්මාණ හඬ කවා, උප සිරැසි යොදා රසඥතාවය මෙන්ම භාෂා දැනුමද නොමඳව දැයේ දූ දරුවන්ට සේම වැඩිහිටියන්ටද ගෙන එන ප්‍රමුඛයා වී සිටින්නේ ජාතික රූපවාහිනියයි. විශ්ව නිර්මාණ පමණක් නොව අපේම ජාතක කතා, ජනකතා, නව නිර්මාණ සජීවීකරණ නිර්මාණ ලෙසින් එළි දැක්වේ.

ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ඒකකය මඟින් මෙරට පස්වරු හයයි තිහ ප්‍රේක්ෂක ඉල්ලුමක් ඇති හෝරාවක් බවටද පත් කළේය.

ගායනා, මුතුහර, සවනක් රැස්, උදාර, මෙරට ළමා වැඩසටහන්වලටද, නුගසෙවණ කාන්තා වැඩසටහන්වලටද පරමාදර්ශයකි. ගීතවානි, නන්දන වින්දන, සංඛ පද්ම, සව සංගීත වැනි වැඩසටහන් ලාංකේය රසිකයන්ගේ රසඥතාවේ නිම්වළලු පුළුල් කළේය. දිමුතු මුතු ටෙලි නාට්‍යයෙන් ඇරැඹි ටෙලි නාට්‍ය කලාවේ ජාතික රූපවාහිනියේ අනන්‍ය මුද්‍රාව අදටද තහවුරු කිරීමට වෙර දරන්නේ වාණිජ පරමාර්ථම මූලික කර ගෙන නොවේ.

මෙලෙස ආගමික, අධ්‍යාපනික සංහිඳියාත්මක අරමුණු පෙරටු කරගෙන ආනන්දයෙන් ප්‍රඥාවට ප්‍රේක්ෂකයන් රැගෙන යන ජාතික නාළිකාව තිස් පස් වැනි සංවත්සරය සමරන්නේ තවත් කාලීන අවශ්‍යතාවක් තේමා කොට ගනිමිනි. “පරෙස්සමෙන් ගිහින් එන්න” යන තේමාවෙන් ඇරැඹි ඔවුන්ගේ නවතම වැඩසටහන් පෙළේ අරමුණ සුනාමියටත් වඩා මිනිසුන්ට මරණය කැඳවන රිය අනතුරුවලින් ජීවිත බේරා ගැනීමයි.

චම්පිකා දීපානි රණසිංහ

නව අදහස දක්වන්න