වෑන් නිවෙසේ සංචාරකයෝ | දිනමිණ

වෑන් නිවෙසේ සංචාරකයෝ

 විසිහතර හැවිරිදි පීට් කුලිගී සහ විසිතුන් හැවිරිදි ටේලර් බුචර් ඇමරිකාවේ ජීවත් වන යුවළකි. මීට වසර දෙකකට ඉහතදී ඔවුන් දෙදෙනා ඇමෙරිකානු පාසලකදී හොඳම මිතුරන් විය. මිතුරුදම කෙතෙක්ද කිවහොත් ඔවුන් තම අධ්‍යාපන කටයුතු අතරවාරයේදී තම රටෙහි විවිධ ස්ථානයන්හි සංචාරය කිරීමට පෙලඹුණාහුය. පාසැල් ගමන අහවර වුණු පසුව විශ්වවිද්‍යාල සමයේදීත් ඔවුන් ගිනිකොණ දිග ආසියාවේ කඳු තරණය කළහ. සැබවින්ම මෙම යුවළ ඇලුම් කළේ තම අධ්‍යාපන කටයුතුවලට නොව සංචාරය කිරීමට ය.

කෙසේ වුවත් තම අධ්‍යාපන කටයුතු මඟහරවාගත්තේ නැත.

දිගුකාලීන මිතුදමින් පසුව මොවුන් විවාහ පත් වූයේ කවදා හෝ දිනක සංචාරක ජීවිතයක් ගතකිරීමේ දැඩි බලාපොරාත්තුවෙනි. එය සැබෑවක් කර ගනිමින් ඇමරිකානු ඩොලර් පන්දහසක් වැයකර ඩොජ් ස්ප්‍රින්ටර් වර්ගයේ වෑන් රථයක් මිලදී ගත්තේ එනිසාය. ඇමරිකාවේ සෑම ප්‍රදේශයකම රැ‍ඳෙමින් ගවේෂණශීලව සංචාරය කිරීමට මොවුන් සිතාගත්තේ තම සුරතල් සුනඛයා වන ස්නුප් ද සමඟය. මොවුන් තිදෙනා ප්‍රථමයෙන්ම ඇමරිකාවේ තම පදිංචි නිවෙසෙහි සිට සැතපුම් හත්දහසක් පමණ ගමන් කළහ. ඉන් අනතුරුව ඇමරිකාවේ ස්ටැෆර්ඩ්ෂයර් සහ ඩිස්කොන්සින් ප්‍රදේශවලද සංචාරයේ යෙදිණි.

ඩොලර් පන්දහසක් ගෙවා මිලදී ගත් ඩොජ් වෑන් රථය මුල් කාලයේදී දක්නට ලැබුණේ සාමාන්‍ය වෑන් රථයක් ලෙසිනි. එහෙත් පීට් සහ ටේලර්ගේ උත්සාහය මත පසුකාලයේදී ‍ඩොජ් වෑන් රථයේ අභ්‍යන්තරය නිවසක සිරිය ගත්තේය. පීට්, ටේලර් සහ ස්නුජ්ගේ නිවහන බවට පත් වෑන් රථය සොන්ඩ නමින් හැඳින්වූහ.

නිදන කාමරය, මුළුතැන්ගෙය සහ ආලින්දයකින් අලංකාර වී තිබූ ඩොජ් වෑන් රථය තුළ නූතන තාක්ෂණයද අන්තර්ගතවීම විශේෂත්වයකි.

ඊට අමතරව ඩොජ් වෑන් රථය තුළ නිවසෙහි කෝපි සාදන යන්ත්‍රයක් මෙන් ම ගිටාර් වාදනය කිරීම සඳහා ස්ථානයක්ද නිර්මාණය කළේ ය.

දවසකට පැය කිහිපයක් එක දිගට රාජකාරී කටයුතුවල නියැළීමට පීට් අකමැති විය. ටේලර්ද පීට්ගේ කැමැත්තට ඉඩ දුන්නේ ඔවුන් දෙදෙනාම නිදහසේ ජීවත්වීමට කැමැති පුද්ගලයන් වන නිසාවෙනි. වර්තමානයේ ජීවත්වන කාර්යබහුල ජීවන රටාවන් ගෙවන පුද්ගලයන්ට අභියෝගයක් වෙමින් පීට් සහ ‍ටේලර් තම එදිනෙදා වැඩ රාජකාරී සියල්ලන්, විනෝදජනක ක්‍රියාකාරකමුත් මෙම වෑන් රථ නිවසේදී සිදු කළේ ය.

පිට් තමන් වාසය කරන ප්‍රදේශවල මිනිසුනට සර්ෆ් ක්‍රීඩාව උගන්වන්නේ ය. එමෙන් ම ඔහු තම ව්‍යාපාර උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවලද නිරතවන්නේ ය. ඊට අමතරව දෙදෙනා චිත්‍රපට වීඩියෝ සංස්කරණයන් ද සිදු කළේය. ඔවුන්ගේ අන්තර්ජාල රැකියාවල් සිදු කරමිල් විනෝදශීලිව වෑන් රථ නිවස තුළ ගත කළේය. රථය ධාවනය කරන අතරතුර හමුවන මනරම් ස්ථානයන්හි නතරව එහි සිරිය විඳ ගන්නටත්, රාත්‍රී කාලයේ දී මඟ නතරව රාත්‍රී ආහාර‍වේල ස්නුපි සමඟ ගැනීමටත් පීට් සහ ටේලර් අමතක නොකළේය. එපමණක්ද නොව වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන්ට ළඟා වූ විට රථයෙන් බැස ස්නානය කිරීමට මොවුන් දැඩි ඇල්මක් දක්වන්නේ ය.

තම ඩොජ් වෑන් රථ නිවස තුළ ජීවත්වෙමින් ගත කරන ගවේෂණශීලි සංචාරක ජීවිතය පිළිබඳ ඇතුළත් තොරතුරු සහ ඡායාරූප මොවුන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි දක්වා ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව පීට් සහ ටේලර්ට ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් 8500ක් සිටින්නේ ය. තව ද මොවුන්ගේ මෙම අපූරු ජීවිතය පිළිබඳව අවධානය යොමු කරන්නන් ඔවුන්ගේ බ්ලොග් අඩවිය සමඟ ද රැඳී සිටියි.

මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න