සමයං ඝාතනය පාතාල කල්ලි 2ක සැලසුමක් | දිනමිණ

සමයං ඝාතනය පාතාල කල්ලි 2ක සැලසුමක්

විජයානි එදිරිසිංහ
කළුතර මධ්‍යම සමූහ

* රථයට අංක දෙකක්
* අපරාධකරුවන් පලාගිය වෑන් රථය මොරගහහේනේ දමා ගිහින්

පෙරේදා ඝාතනයට ලක් වූ ප්‍රධාන අපරාධ කල්ලි නායකයකු වූ සමයං ඝාතන සැලසුම කඩුවෙල සහ දකුණේ ප්‍රධාන අපරාධ කල්ලි නායකයන් දෙදෙනකු විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, මේ අපරාධයට සම්බන්ධ යැයි සැක කරන අපරාධ කල්ලි සාමාජිකයන් ගණනාවක්ම පලා ගොස් ඇති බව ද එම පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ සිදු කරති.

අපරාධකරුවන් විසින් අපරාධය සිදුකිරීමට භාවිත කරන ලද ඩබල් කැබ් රථය අවසන් වරට පාවිච්චි කර ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරන නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එම පුද්ගලයා මේ වන විට එම ප්‍රදේශය අතහැර ගොස් ඇති බව ද‍ සොයාගෙන ඇත. මේ අතර පානදුර කොට්ඨාසයේ මොරගහහේන පොලිස් වසමේ අතහැර දමා ගොස් තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රථයක් ‍ඊයේ පෙරවරුවේ සොයා ගනු ලැබුණි. මේ අපරාධ කල්ලිය වෙඩි තැබීමෙන් පසු පලා යාමට යොදා ගත් බවට සැක කරන මේ වෑන් ‍රථයේ අංක දෙකක් තිබුණි. ඒ අනුව වෑන් රථයේ ඉදිරිපස වීදුරුවේ අලවා ඇති ආදායම් බලපත්‍රයේ එක් අංකයක් ද වෑන් රථයේ තවත් අංකයක් ද විය. ඒ අනුව E P 59-1677 සහ 251- 4267 අනෙක් අංකය විය. ‍‍

මේ වෑන් රථය අප‍රාධ කල්ලිය පලා යාමට යොදාගත් එක යැයි සැක කෙරේ. මේ වන විටත් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ ඇඟිලි සලකුණු නිලධාරීන් මේ වාහන ද්විත්යම විද්‍යාත්මකව පරීක්ෂණයට භාජනය කරමින් සිටිති.

දැනට පරීක්ෂණ අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට මේ අපරාධය සැලසුම් කළ දකුණේ අපරාධ කල්ලි ප්‍රබලයා සමයං ඝාතන සැලසුම හරහා සමයං ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ කප්පම් ගැනීමට සමයංගේ කල්ලිය මහත් බාධාවක් වීමත් ඔවුනොවුන්ගේ ගෝලයන් අතර ඒ සම්බන්ධයෙන් ගැටුම් ඇති වීමත් සමයංගේ කණ්ඩායම අංගොඩ ලොක්කා ඝාතනය කිරීමට සැලසුම් කරන බවට ඔවුන් විසින් දැන ‍ගැනීමත් නිසා බවට ද තොරතුරු ලැබෙමින් පවතී. කෙසේ වෙතත් මේ පාතාල අපරාධ කල්ලි කිහිපය අතර සිදු කර ගන්නා වූ මේ ඝාතන රැල්ලේ සුල මුල ඇතුළු මේ අපරාධ සිද්ධියට සම්බන්ධ සියලු තොරතුරු කඩිනමින් හෙළිකර ගැනීමට ‍මේ පරීක්ෂණ අංශ කටයුතු කරගෙන යයි. 

නව අදහස දක්වන්න