බංග්ලාදේශ ඉදිරි ගමනේ තරම මේ තරගමාලාවෙන් දැන ගනීවි | දිනමිණ

බංග්ලාදේශ ඉදිරි ගමනේ තරම මේ තරගමාලාවෙන් දැන ගනීවි

වර්නන් ගුණසේකර
නිරෝෂාන් ප්‍රියංකර
බංගලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ

ලැබී තිබෙන කණ්ඩායම ගැන මට විශ්වාසයි
- රංගන හේරත්

බංග්ලාදේශය ටෙස්ට් තරග බිමේදී කෙතරම් දුරට ඉදිරියට පැමිණ තිබෙනවාදැයි යන්න මේ ටෙස්ට් තරගමාලාවෙන් පෙන්නුම් කරනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ පවසයි.

90 දශකයේ තමන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන අවදියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩාය‍මේ තිබූ ප්‍රගතිය 2010 වසරේ සිට බංග්ලාදේශ කණ්ඩායමෙන් දිස්වෙමින් තිබෙන බවද හතුරුසිංහ කියයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පිළිබඳ කොළඹ ටජ් සමුද්‍ර හෝටලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හතුරුසිංහ එසේ කීවේය.

“ශ්‍රී ලංකාව සමග ශ්‍රී ලංකාවේදීම පැවැත්වෙන තරගාවලියට සහභාගිවීමට ලැබීම මට ලොකු සතුටක්. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තරයේ මේ තත්ත්වයට එන්න උදව් කරපු අනෙකුත් රටවලවලට වැඩිය ලොකුම රට ශ්‍රී ලංකාව. එක බංග්ලාදේශය අදත් අගය කරනවා.” ඔහු පැවැසීය.

චන්දික හතුරුසිංහ, මරියෝ වෙල්ලවරායන්, රුවන් කල්පගේ හා තිලාන් සමරවීර වැනි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවෙන් බිහිවූ ක්‍රීඩකයන් දැන් බංග්ලාදේශ පුහුණු කාර්යය මණ්ඩලයට ඇතුළත්ව සිටීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වුවත් තරගමාලාව ක්‍රීඩා කරන්නේ තම මවු‍බිමේදී බැවින් එය ශ්‍රී ලංකාවට වාසියක් බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක රංගන හේරත් කියයි.

“පිතිකරුවන් 7දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා. පිතිකරු පෙළ ගැන මට විශ්වාසයි. මට ලැබුණු කණ්ඩායම ගැනත් මට ලොකු විශ්වාසයක් තිබෙනවා” යැයිද හේරත් කියා සිටියේය.

මලින්ද පුෂ්පකුමාර නම් වමත් දඟ පන්දු යවන්නා සංචිතයට අතුළත්ව ති‍බීම පිළිබඳවද නායකයා අදහස් දක්වා සිටියේ ඉතාමත් සතුටු සිතිනි.

“මලින්ද පළමු පෙළ කඩුලු 500ට වැඩියෙන් දවාගෙන තිබෙනවා. එක තරගවාරයකදී එයා කඩුලු 50ක් දවා ගන්නවා. නායකයා විදිහට මමත් වමත් දඟ පන්දු යවන්නෙක්ව ඉද්දී මලින්දටත් (වමතින් දඟ පන්දු යන්නෙක්) මේ තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් එවැනි දක්ෂයෙක් සංචිතයේ සිටීම අපිට ලොකු හයියක්. අවශ්‍යතාවයක් වුණොත් එයාව ගන්නවා” හේරත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවැන්ත ක්‍රීඩකයන් අද කණ්ඩායමේ නැති නිසා මේ තරගමාලාව ජය ගැනීමට බංග්ලාදේශයට හොඳම අවස්ථාවක් ලැබී ඇතැයි ප්‍රකාශ වුවත් එය පහසු කාර්යයක් නොවන බව බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහිම් කියයි.

“ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ රටේ. ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළ විශ්මිත ආකාරය අපි දුටුවා. පළපුරුදු ක්‍රීඩකයන් ඔවුන් සතුව නොසිටීම අපට ‘හොඳ චාන්ස්’ එකක් වෙන්න ඉඩ තියෙනවා” මුෂ්ෆිකර් බලාපොරොත්තු සහගතව කියා සිටියේය.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් ශක්තියක් ලබාදෙන බවද මුෂ්ෆිකර් කීවේය.

“වසර එකහාමාරක් තිස්සේ හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අපමයි. බොහෝ තරුණ ක්‍රීඩයකයන් ඔහු තුළින් කණ්ඩායමට ආවා. ඔහුගේ සැලැස්ම එදා මෙන්ම මේ තරගාවලියේදීත් අපි පිටිය මැද ක්‍රියාත්මක කරනවා”

“ශ්‍රී ලංකාව වගේම අපිටත් ඉන්නේ පළපුරුදු හා අලුත් ක්‍රීඩකයන්ගේ සංකලනයක්. අපි මේ තරගාවලිය ජය ගන්න උපරිමයෙන් ක්‍රිඩා කරනවා” 

නව අදහස දක්වන්න