කරකොලගොල්ල පරිසරයට හානි කළ හෝටලයේ වැඩ නවත්වයි | දිනමිණ

කරකොලගොල්ල පරිසරයට හානි කළ හෝටලයේ වැඩ නවත්වයි

මාතලේ දිස්ත්‍රික් සමුහ - ඒ.ඒ.එල්.ඩයස්
ගල්තලාවේ පැත්තක් කඩා ජල තටාකය ඉදිකරන අයුරු

පරම්පරා ගණනාවක් තිස්සේ කමතක් ලෙස භාවිතා කළ රත්මලගහඇළ කරකොලගොල්ල පෙදෙසේ විශාල ගල්තලාවක් කඩා පරිසර නීතිරීති උල්ලංඝණය කරමින් හෝටල් හිමියකු විසින් ජලතටාකයක් ඉදිකිරීමට එරෙහිව පෙදෙස්වාසින් කළ පැමිණිල්ලක් මත එම ස්ථානය පරික්ෂාකළ දඹුල්ල නාගරික කොමසාරිස් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය එහි ඉදිකිරීම් වහා තහනම් කළේය.

ඇය පැවසුවේ මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකර ඒ සදහා අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගන්නා බවය. අනතුරුව ඒ අසල ඉදිකෙරෙමින් පවතින හෝටල් සංකීර්ණයෙහි අයිතිකරුට ඔහුගේ ඉඩමෙහි සීමාව නොඉක්මවන ලෙසද දැනුම් දුන්නාය.

මේ මොහොතේ එම ස්ථානයට රැස්වු පෙදෙස්වාසින් කියා සිටියේ මෙම ගල්තලාව පරම්පරා ගණනාවක් මුළුල්ලේ කමතක් ලෙස භාවිත කළ බව ද යාබද මාර්ගයද ගමන්බිමන් සදහා යොදාගත් බවත්ය. මෑතක සිට මෙම ස්ථානයට නුදුරින් හෝටලයක් ඉදිකෙරෙන බව පවසන මොවුහු මෙම හොටල්කරු විසින් මෙම ගල්තලය නීතිවිරෝධී ලෙස වෙඩිදමා පුපුරවා හැර ජල තටාකයක් ඉදිකරන බව දැන්වීය.

අයි. ඩබ්ලිව්. ජී. නන්දසේන මහතා - මම මෙම පෙදෙසේ පාරම්පරික පදිංචිකරුවෙක්. මගේ අත්තාමුත්තා කාලේ සිට මේ ගල්තලාව අපි යොදා ගත්තේ කමතකට. මෙහෙ හෝටලයක් හදන්ට පටන් ගත්තට පස්සේ මේ ගලත් කඩලා ජලතටාකයක් හදනවා. මේ නිසා පරිසරය විනාශවනවා පමණක් නොව අපගේ ජනජීවිතයට සිදුවන්නේද හානියක්.

එම්. ජී. විජේරත්න මහතා - මම උපන්නේ මේ ගමේ. මම දන්නා කාලේ ඉදලා මේ ගල්තලාව තමයි ගොයම්කොල පෑගීමට යොදාගත්තේ. දැන් මේ ගලේ දෙපැත්තකින් කඩලා ජලතටාකයක් හදන්නට යනවා.

මේක මහ පරිසර විනාශයක්. මෙතනින් තමයි ගමටයන පාර තිබෙන්නේ. මේ නිසා දැන් පාරත් වැහෙනවා. සිදුවන මෙම පරිසර හානියෙන් මේ පෙදෙස බේරාගත යුතුයි.

නව අදහස දක්වන්න