මිල්ලවාන මැදි විදුහලේ එල්ලෙන විදුලි රැහැන් සිසු ජීවිතවලට තර්ජනයක් | දිනමිණ

මිල්ලවාන මැදි විදුහලේ එල්ලෙන විදුලි රැහැන් සිසු ජීවිතවලට තර්ජනයක්

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී. ගුණතිලක
කඩාවැටෙන ගොඩනැඟිල්ලක්

ගලේවෙල අධ්‍යාපන කලාපයේ මිල්ලවාන මහා විද්‍යාලයේ ඉදි කර ඇති ගොඩනැඟිල්ලක් දැඩි ලෙස අබලන් වී තිබීම නිසා සිසු ජීවිත 400ක් පමණ අනතුරට ලක්වී ඇත. මේ ගොඩනැඟිල්ල තුළ පාසලේ සංගීත භාණ්ඩ හා ඩෙස් පුටු ආදී උපකරණ ද ඇති බව පවසන මවුපියෝ ඒවා ඉවත්කර ගැනීමට යාම පවා අවදානම් බව පෙන්වා දෙති. ඊට අමතරව 1 වසර පන්ති පවත්වාගෙන යන්නේ ද ඊට යාබද ගොඩනැඟිල්ලක වන අතර සෙල්ලම් මිදුල ද පිහිටා ඇත්තේ ඒ අසලය. මේ නිසා දරුවන් අදාළ ගොඩනැගිල්ල දෙසට ගියහොත් සිදුවිය හැකි ඛේදවාචකය බලධාරීන් විසින් තවම තෙරුම් ගෙන නැති බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම පාසලට එන ප්‍රධාන විදුලිය සම්බන්ධ කර ඇත්තේද මේ අබලන් ගොඩනැඟිල්ල හරහා වීම ද ඉතාමත් අවදානම් බව ද මවුපියෝ දන්වා සිටිති.

අදාළ ගොඩනැඟිල්ල 2012 වසරේ සිට අබලන් වී තිබීම නිසා සිසුන් පාවිච්චියට ගෙන නැත. එදා පටන් මේ වනතුරු තම දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් එය ලිපිගොනුවකට පමණක් සීමා වී ඇති බව ඔවුහු කියා සිටිති.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය - ගොඩනැඟිල්ල ඉවත් කිරීමට බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබෙනවා. අවසරය ලැබුණු වහාම එම අවදානම ඉවත් කරනවා.

නව අදහස දක්වන්න