මාදම්පේ ග්‍රාමීය රෝහලේ අඩුපාඩු රැසක් | දිනමිණ

මාදම්පේ ග්‍රාමීය රෝහලේ අඩුපාඩු රැසක්

රෝහල් අබලන් වෛද්‍ය නිල නිවාස

මාදම්පේ ග්‍රාමීය රෝහලේ තිබෙන වෛද්‍ය නිල නිවාස තුනෙන් දෙකක්ම අබලත් අතර එම නිල නිවාස දෙකේ තිබෙන වැසිකිළවල අපද්‍රව්‍ය වැසිකිළි ඇතුළත පිටාර ගලන නිසා ඒවා පාවච්චි කිරීමට නොහැකිව ඇතැයි රෝහල් බලධාරීහු පවසති.

නිල නිවාස ඉදි කොට ඇති භූමිය සුළු වර්ෂාවකදී පවා ජලයෙන් යටවන බවත්,එසේ රැදෙන ජලය බැස යාමට නිසි ක්‍රමවේදයක් නොමැති නිසා වැසි ජලය සති ගණන් නිල නිවාස අවට රැදී පවතින බවත් මේ හේතුවෙන් මදුරු කරදරය ද ඉහළ ගොස් ඇති බවත් කියති.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිණනිය ඇතුළු වෛද්‍යවරුන් පස් දෙනකු සේවයේ යෙදී සිටිති. නමුත් එම වෛද්‍යවරුන්ට නිල නිවාසවල නතර වීමට ඇති නොහැකියාව නිසා රෝහලේ බොහොමයක් දිනවල රාත්‍රී කාලයට වෛද්‍යවරුන් කිසිවෙකුත් නොමැති බව ප්‍රදේශවාසීහු පැවසූහ.මේ නිසා හදිසි රෝගියකු ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත පැමිණිය හොත් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි බව බොහොමයක් දෙනකු කියා සිටියහ.

රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර ගැබිනි මවුවරුන්ගේ සායන අධික රුධිර පීඩන ආදී ලෙඩ රෝගවලින් පෙ‍ෙළන අය වෙනුවෙන් වූ සායනද මෙහි පැවැත්වේ.

ප්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර රුවිනි පෙරේරා මහත්මිය - රෝහලේ සේවයට මා පැමිණියේ මෑතකදී. රෝහලේ පවතින අඩු පාඩු ක්‍රමක් ක්‍රමයෙන් විසදා ගෙන යනවා. රාත්‍රී කාලයට වෛද්‍යවරයකුගේ සේවය ලබා දීමට කටයුතු යොදා ඇති අතර එය තව ටික දිනකින් ක්‍රියාත්මක කරනවා.

අම්බලන්ගොඩ සමූහ
ආර්. ඥානදාස

නව අදහස දක්වන්න