මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සී ෂෙල්ස් රාජ්‍යයේ සහාය | දිනමිණ

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සී ෂෙල්ස් රාජ්‍යයේ සහාය

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට සිය රටේ උපරිම සහාය ලබාදෙන බවට සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවුරේ (Danny Faure) මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවු‍ෙර් මහතා පෙරේදා (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

ජනාධිපති නිල නිවස වෙත පැමිණි සීෂෙල්ස් ජනාධිපති ඇතුළු දූත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා සුහදශීලී අන්දමින් පිළිගනු ලැබීය.

සුහඳ පිළිසඳරකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ සාකච්ඡා සඳහා එක්විය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ සීෂෙල්ස් ජනාධිපතිවරයා බුද්ධි සේවා තොරතුරු හුවමාරු කරගැනීම ආදී ක්ෂේත්‍ර ඔස්සේ ඒ සඳහා ලබාදිය හැකි සෑම සහායක්ම ශ්‍රී ලංකාවට ලබාදෙන බව ද කියා සිටියේය.

මත්ද්‍රව්‍ය විරෝධී සටනට මෙවන් මිත්‍ර රාජ්‍යයක සහාය හිමිවීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද මුළු ලෝකය පුරා භයානක අයුරින් පැතිර තිබෙන මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට සියලු මිතුරු රාජ්‍යයන් එක්විය යුතු බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර සංචාරක, ධීවර කෘෂිකර්ම යන සියලු ක්ෂේත්‍රවල සහයෝගය ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී රාජ්‍ය නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර සීෂෙල්ස් රාජ්‍යයේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ අධිකරණ කටයුතු සඳහා ලාංකීය ගුරුවරුන්ගෙන්, වෛද්‍යවරුන්ගෙන් සහ නීති විශාරදයින්ගෙන් ලැබෙන සේවාව සීෂෙල්ස් ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සිය රටේ ඉමහත් ඇගයීමට ලක්ව ඇති බව සඳහන් කළ සීෂෙල්ස් ජනාධිපතිවරයා තම රටේ නීති සම්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට අද පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට බව කියා සිටියේය.

සීෂෙල්ස් ජාතිකයින් තම වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයට තම රට තුළ හිමිව ඇත්තේ මහත් ප්‍රසාදයක් බවද සීෂෙල්ස් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

දෙරට අතර තානාපති සබඳතාවලට තෙවසරක් පිරීම නිමිත්තෙන් ලබන වසරේ පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වන ලෙස ද සීෂෙල්ස් ජනාධිපතිතුමා කළ ආරාධනය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදි. සීෂෙල්ස් රාජ්‍යයේ පරිසර, ධීවර හා කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටයහ. 

නව අදහස දක්වන්න