බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ සැකකරුවන් හදුනාගැනේ | දිනමිණ

බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ සැකකරුවන් හදුනාගැනේ

කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය සැළසුම් කළ ප්‍රධාන සැකකරු ඇතුළු ඊට සම්බන්ධ සැකකරුවන් රැසක් මේ වන විට හඳුනාගැනීමට හැකි වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන අපරාධ විමර්ශකයින් විසින් අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ.

එමෙන්ම මෙම සැකකරුවන්ගෙන් කිහිපදෙනෙකු ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් විදෙස්ගත වීමේ සැළසුමක් ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන කටයුතු සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර පාතාල කල්ලි නායක සමයං ඇතුළු පිරිස පොලිස් ආරක්ෂාවක් නොමැති කළුතර බන්ධනාගාරයේ බස් රථයකින් පිටව යන බවට තොරතුරු ලබාදී ඇත්තේ කළුතර බන්ධනාගාරය තුළින්ම බවට සැක මතුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම් පවසන්නේ කළුතර බන්ධනාගාරයේ රදවා සිටින තවත් පාතාල කල්ලි සාමාජිකයෙකුගෙන් විසින් මෙම තොරතුර ලබා දෙන්නට ඇති බවට සැක කෙරෙන බවයි. 

පසුගිය 27 දා කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැඳවියන් ප්‍රවාහනය කළ බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පාතාල කල්ලි සාමාජික සමයං ඇතුළු රැඳවියන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

නව අදහස දක්වන්න