ජගත් කාන්තා දින ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

ජගත් කාන්තා දින ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

බුද්ධිකා ඉඹුලාන
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තේ පැවැත්වෙන ජාතික උත්සවය සහ එයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් පිළිබඳ ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මාධ්‍ය දැනුවත් කළ අයුරු.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මේ මස 08 වැනි දා සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

'තුන්කල් දකින්නී-සවියෙන් දිනන්නී' තේමාව යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධාන කරන මේ උත්සවයට කාන්තාවන් දෙදහසක් පමණ සහභාගි වේ. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජාතික උත්සවය පැවැත්වෙන භූමි පරිශ්‍රයේ දී මේ 07 සහ 08 දෙදින ව්‍යවසායක අලෙවි පොළක් ද පැවැත්වේ. මෙය අලෙවි කුටි 75කින් යුතු බව ජගත් කාන්තා දිනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක් වෙමින් කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවැසුවාය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය මෙසේ ද පැවැසුවාය.

"මේ මස 07 වැනි දා මාතර දිසා ලේකම් කාර්යාලයේ දී සුවනාරි සෞඛ්‍ය වැඩසටහනක් පැවැත්වීම, හෙළ බොජුන් හළක් ඉදිකිරීමට මූලික කටයුතු යෙදීම, රැකියාවල නියුතු මව්වරුන් දැනුවත් කිරීම, උපදේශන වැඩසටහන් පැවැත්වීම ආදිය ද සිදු කරනවා. වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන්ට නිවාස ආධාර හා ණය ලබාදීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තෝරා ගන්නා ලද අඩු ආදායම්ලාභී කාන්තාවන් 50 දෙනකුට නිවාස ආධාර ලබාදීම මේ ජාතික උත්සවයේ දී සිදු කිරීමට නියමිතයි.

ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මාතර පොලිස් ස්ථානයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට මුල් ගල් තැබීම, පස්ගොඩ ප්‍රදේශයේ කාන්තා හිතකාමී ගම්මානයක් පිහිටුවීම, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා හා කාන්තා සංවර්ධන ඒකක සම්පූර්ණ කිරීම මේ ජාතික උත්සවයට සමගාමීව සිදු කෙරෙනවා."

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු රැසක් එක් වූහ.

නව අදහස දක්වන්න