කඩුලු රකින්න එපා! | දිනමිණ

කඩුලු රකින්න එපා!

පුහුණුකරු හතුරුසිංහ හා කළමනාකරුගෙන් බංගලි නායකයාට ප්‍රබල අවවාදයක්ශ්‍රී ලංකාවට එරෙහිව ලබන අඟහරුවාදා ඇරැඹෙන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේදී ක්‍රීඩා කළ යුතුව තිබෙන්නේ විශාරද පිතිකරුවකු ලෙසින් නිසා නිශ්චිත කඩුලු රකින්නාගේ කාර්යය අත්හරින ලෙස බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙන්ම කළමනාකරු කලීඩ් මහ්මුඩ් බංග්ලාදේශ නායක මුෂ්ෆිකූර් රහීම්ට ප්‍රබල ලෙස උපදෙස් දී තිබේ.

මෙයින් තේරුම් ගත යුතුව තිබෙන්නේ එම සංචිතයේ සිටින අනෙක් විශාරද කඩුලු රකින්නා වන ලිටන් ඩාස් එම කාර්යය භාරගනු ඇති බවකි.

පසුගිය වසරේ ඇෆ්ගනිස්තානයේදී පැවැති තරගමාලාවේදී මුෂ්ෆිකූර් කඩුලු රකින්නකු ලෙස ක්‍රීඩා කරමින් උඩ පන්දු ගණනාවක් අතහැරීම පිළිබඳ එරට ක්‍රිකට් බලධාරින්ගේ අවධානය යොමුව තිබේ.

බංග්ලාදේශ පිලේ ඊට පෙර පසුගිය මාසයේ හයිද්‍රබාද්හි පැවැති ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදී රිඩ්මාන් සහා නැමැති පිතිකරුවා ‘ස්ටම්ප්’ කිරීමට අසමත් වීමෙන් කණ්ඩායමට විශාල හානියක් සිදුවූ අතරම කඩුල්ල පිටුපස මුෂ්ෆිකූර්ගේ ක්‍රීඩාවේ වැරදි ගණනාවක් ඔවුන්ගේ බලධාරීන්ගේ අවධානයට‍ යොමු විණි.

මුෂ්ෆිකූර් අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කරනු ඇත.

“මුෂ්ෆිකූර් කණ්ඩාය‍මේ සිටින දක්ෂතම පිතිකරුවායි. අංක 4 පිතිකරු ලෙසින් ක්‍රීඩා කරමින් හා කඩුලු නොරකිමින් ඔහුට කණ්ඩායමට වඩා ලොකු සේවයක් කළ හැකි යැයි මම විශ්වාස කරනවා. මුෂ්ෆිකුර්ට අපේ මේ අවවාදය පිළිගැනීම අපිට ලොකු හයියක්” මහ්මුඩ් කියයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමග පැවැති පුහුණු තරගයේදීද බංග්ලාදේශ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේ ලිටන් ඩාස්ය.

 

නව අදහස දක්වන්න