මහ ක්‍රිකට් තරග උන්මාදයෙන් ඡන්ද සටන උණුසුම් වෙයි | දිනමිණ

මහ ක්‍රිකට් තරග උන්මාදයෙන් ඡන්ද සටන උණුසුම් වෙයි

2017 ‘මහා ක්‍රිකට් තරග’ වාරය ‍මේ මාසයේ ආරම්භ වීමත් සමග ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ජනප්‍රිය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ තරගයට ඡන්ද දැමීම නව මාවතකට යොමුව තිබේ.

පාසල් ක්‍රිකට් තරග වාරයේ වඩාත්ම තීරණාත්මක ඉසව්ව සඳහා පාසල් පළමු පෙල කණ්ඩායම් සූදානම් වෙද්දී ඔවුන්ගේ බාල මහළු ආධාරකරුවන් මෙන්ම ක්‍රිකට් ලෝලීන්ද තම සුපිරි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඡන්ද දමමින් තමන් ඉගෙන ගත් පාසලේ නැගී එන ක්‍රීඩකයන්ට ආධාර කිරීමට සැදී පැහැදී සිටිති.

මේ අනුව, 39 වැනි ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ තරගයේ වඩාත්ම ජනප්‍රිය ඉසව්වලට ඡන්ද දැමීම සඳහා වැඩි උනන්දුවක් ඇති වී තිබෙන්නේ එමගින් මහා ක්‍රිකට් තරගවලට පෙර තමන්ගේ පාසලේ ක්‍රිකට් වීරයන්ට මානසික වශයෙන් වැඩි ශක්තියක් ලැබෙන නිසාවෙනි.

‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ තරගමාලාව 1979 වසරේ ආරම්භ කළ දා පටන් එයින් සුපිරි ක්‍රීඩකයන් බොහොමයක් මතුවී තිබේ. එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ මේ වටිනා කිරුළේ මුල්ම හිමිකරුවා වූ හිටපු ශ්‍රී ලංකා, එන්.සී.සී. හා රාජකීය විදුහල් නායක සහ වර්තමානයේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන තරග තීරකවරයා වන රන්ජන් මඩුගල්ල ය.

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා මෙන්ම ඇමැතිවරයෙකුද වන අර්ජුන රණතුංග මේ කිරුළ හිමකර ගත් දෙවැන්නා වෙයි. ඊට අමතරව මෙම සම්මානය දෙවතාවක් දිනා ගත් පළමු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද අර්ජුන රණතුංග යි.

කණිෂ්ඨ මට්‍ටමේදී පිත්තක් හෝ පන්දුවක් අල්ලා ගත් දිනයේ පටන් සෑම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේම එකම සිහිනය වන්නේ මතු දිනයෙක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමය. ඔවුන්ගේ පාසල් දිවිය අවසන් වන විට තමන්ව උනන්දු කරවන එක සංඥාවක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වෙයි. ඒ, ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ තරගයේ ඉහළම සම්මානයක් සුරක්ෂිත කර ගැනීමය.

මේ සම්මානය තමන්ට ලොකු ලීගයක් සඳහා ඇතුළු වීමට ලැබෙන නිල නොවන සහතිකයක් ලෙසින් ඔවූහු කල්පනා කරති. මේ හේතුවෙන්, මේ සම්මාන උළෙලේ ඉහළම සම්මානයකින් තමන්ගේ පාසල් ක්‍රිකට් දිවිය අවසන් කිරීමට ලැබුනොත් තමන් සිටින්නේ ජාතික කණ්ඩායමට ඇතුළු වීමේ දොරකඩ අභියස බවට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතරේ පොදු විශ්වාසයක් තිබේ.

සම්මාන උළෙලේ ඉහළම සම්මාන දිනා ගත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඊට මාස කිහිපයකට පසුව කෙළින්ම ජාතික කණ්ඩායමට ඇතුළු වූ බවට උදාහරණ බොහොමයක් මේ සම්මාන උළෙලේ පසුගිය වාර්තාවලින් දිස්වෙයි. හොඳම උදාහරණ වන්නේ මඩුගල්ල හා රණතුංග යි.

නව අදහස දක්වන්න