සඳ වටා යන්න දෙදෙනෙක් | දිනමිණ

සඳ වටා යන්න දෙදෙනෙක්

මංජුලා විජයරත්න

සඳ වටා රවුමක් යාමේ අදහස ඇතිව අමෙරිකා ජාතික පුද්ගලයන් දෙදෙනෙකු සඳ ගමන් සංචාර සංවිධානය කරන ආයතනයකට මුදල් ගෙවා ඇති බව වාර්තා වේ. ලබන වසරේදී සඳ වටා රවුමක් ගසන්නට බලාපොරොත්තුවෙන් සිටින මොවුන්, විද්‍යාඥයන් හෝ හොලිවුඩ් තරු හෝ නොවන බව සඳහන්ව ඇත. පුද්ගලයන් දෙදෙනාට මේ දුර්ලභ ගණයේ අත්දැකීම ලබාදෙන්නට ඉදිරිපත්ව සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාපිත ස්පේස් එක්ස් සමාගමයි.

තොරතුරු වාර්තා වන අන්දමට 60 සහ 70 දශකවලින් පසුව අමෙරිකාවේ නාසා ආයතනය අභ්‍යාවකාශගාමීන් කිසිවකු සඳ මතට යවා නැත. එහෙව් තත්ත්වයක් පවතිද්දී පසුගිය සතියේ දිනෙක ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මුස්ක් කියා සිටියේ මෙවැනි කතාවකි.

“... අපි ඉතා සන්තෝෂයෙන් ප්‍රකාශයට පත් කරනවා, පෞද්ගලික මට්ටමෙන් දෙදෙනෙකු සඳ වටා රවුමක් යන්න අපේ සමාගම සමඟ එකඟ වෙලා ඉන්නවා කියලා. ගමන ඇරඹෙන්නේ ලබන වසරේ අග භාගයේදී පමණ. මිනිසුන්ව ගැඹුරු අභ්‍යාවකාශය වෙත යළි කැඳවාගෙන යාමක් මෙහිදී සිදුවන්නේ. එය සිදුවෙන්නේ වසර 45කට පමණ පසුව. පෙර නොවූ විරූ අන්දමට සාමාන්‍යය ජනයා ඉතා ඉක්මනින්, සෞරග්‍රහ මණ්ඩලයේ විවිධ ස්ථානවලට පිවිසීමට මෙතැන් සිට යොමු වනු ඇති. .....”

සඳ වටා යන්නට සංවිධානය වන සංචාරයට මඟීන් වශයෙන් එකතු වන්නේ කවර ආකාරයේ පුද්ගලයන්ද යන්න හෙළි කිරීම සමාගම් බලධාරීහු තරයේම ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම සංචාරය සඳහා යානාවන් පදවාගෙන යන්නේ කවුද යන්න අනාවරණය කිරීමත් සමාගම විසින් මඟ හරින ලදී. නමුත් ඉදිරි කාලයේදී මේ සියලුදෙනාගේ සෞඛ්‍ය සහ යෝග්‍යයතා පරික්ෂණ පැවැත්වෙනු ඇති බවට සමාගම ඉඟි කළේය.

සඳ වටා සංචාරය කරන්නට අවශ්‍යය කප්සියුලය ස්පේස් එක්ස් සමාගම ලබා ගන්නේ කැලිෆෝර්නියාවේ ස්ථාපිත සමාගමකින් බව දැක්වේ. එය මිනිසුන් රහිතව අභ්‍යාවකාශයට යවා පරික්ෂා කිරීම සිදුවනු ඇත්තේ මේ වසරේ අග භාගයේදී පමණය. කප්සියුලය දියත් කිරීමේ කටයුත්ත සිදුවනු අත්තේ ස්පේස් එක්ස් සමාගමේ “ෆැල්කොන් හෙවී” නමැති රොකට්ටුව ආධාරයෙනි. රොකට්ටුව පරික්ෂා කිරීම ළඟදී සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ. ස්පේස් එක්ස් සමාගම ප්‍රථම වරට සංවිධානය කරන සඳ සංචාරයට තාක්ෂණික වශයෙන් වෙනත් බාධාවක් නොපැමිණියේ නම් වැඩ පිළිවෙල බොහෝ දුරට සාර්ථක වනවාට කිසිදු සැකයක් නැත.

කිලෝමීටර 384,400ක් ඈතින් පිහිටි පෘථිවියට අයත් උපග්‍රහයා හෙවත් චන්ද්‍රයා වෙත යාම සාමාන්‍යය ජනයා වූ අපට අදටත් සිහිනයක් බව කවුරුත් විවාදයෙන් පිළිගන්නා කාරණයකි. එයට එක් හේතුවක් වන්නේ සාමාන්‍යය ජනයා එපමණ දුරක් ගමන් රැගෙන යාමට අවශ්‍යය තාක්ෂණය තවමත් හරියාකාරව දියුණු වී නොතිබීමයි. අනෙක් හේතුව, පෘථිවියේ සිට චන්ද්‍රයා කරා යන ගමනට අධික ධනයක් වැයවීමය. එසේ වුවත් සාමාන්‍ය ජනයා චන්ද්‍රයා මතු පිටට රැගෙන යාමේ වැඩ පිළිවෙල සංවිධානය වීම් ගැන විටින් විට අපට අසන්නට ලැබේ. අභ්‍යාවකාශ සංචාර සාර්ථක වුවත් සඳ සංචාරයක් සංවිධානය වී එය යතාර්ථයක් බවට පත්වීමක් තවමත් සිදුව නැත.

අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරය පසුගිය කාලයේදී ඉතා ඉක්මනින් ජනප්‍රිය විණ. අභ්‍යාවකාශ සංචාරක වැඩපිළිවෙල සංකල්පයක් හැටියට ඉදිරිපත් වුණේ මිනිසා අභ්‍යාවකාශයට පිවිසීමත් සමඟයි. අභ්‍යාවකාශ සංචාර ප්‍රයෝගික තැනකට නැඹුරු වන්නේ එක් දහස් නවසිය අනූව දශකයේ මැද භාගයේදී පමණය. අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාම සඳහාම ස්ථාපිත සමාගම් කිහිපයක් අද වනවිට බිහි වී තිබේ. ඒ අතර වර්ජිනියා ගැලැක්ටික්, එක්ස්කෝර් එරෝස්පෙස් සහ මතු දැක්වූ ස්පේස් එක්ස් යනාදී සමාගම් ඉතා ප්‍රකටය. 2001 වසරේ සිට 2009 වසර දක්වා වූ කාලය තුළදී සංචාරකයන් හත්දෙනෙකු අභ්‍යාවකාශයේ සංචාරය කර ඇත. පළමු අභ්‍යාවකාශ සංචාරකයා වන්නේ අමෙරිකා ජාතික ඩෙනිස් ටිටෝය. ඔහු දින අටක අභ්‍යාවකාශ සංචාරයක යෙදුෙණ් 2001 වසරේ අප්‍රේල් මාසයේදී බව වාර්තාවල දැක්වේ. ඒ සඳහා ඔහු අමෙරිකා ඩොලර් මිලියන 20ක් පමණ වැය කර ඇත. අවසන් වරට අභ්‍යාවකාශ සංචාරයක යෙදුෙණ් ගයි ලලිබර්ටේ නමැති කැනඩා ජාතිකයායි. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වූ ගයි සිය අභ්‍යාවකාශ සංචාරය සඳහා අමෙරිකා ඩොලර් මිලියන 40ක් පමණ වැය කර ඇත. ගයි දින 11ක් අභ්‍යාවකාශ සංචාරයේ යෙදුණු බව දැක්වේ. අභ්‍යාවකාශ සංචාරයන්ට එක් වුණු සංචාරකයන් හත්දෙනාම අඩු තරමින් අමෙරිකා ඩොලර් මිලියන 20 බැගින්වත් වැය කර තිබීම මෙහිලා කැපී පෙනෙන කාරණයකි. එනිසා අභ්‍යාවකාශයේ සංචාරයක යෙදෙන්නට මහා ධනස්කන්දයක් වැය කළ යුතු බව සැකයෙන් තොර කාරණයකි. ඒ අනුව සඳ වටා සංචාරයක නියැලෙන්නටත් එවැනිම ඉහළ මුදලක් වැය වනවාට සැකයක් නැත.

මිනිසා පළමුවෙන්ම සඳ මත පා තැබුවේ 1968 වසරේදීය. එදා ඒ ගමනේ කටයුතු සපුරාලන්නට අමෙරිකා ඩොලර් බිලියන 25ක පමණ මුදලක් වැය වුණු බව දැක්වේ. නමුත් කාලයත් සමඟ තාක්ෂණය දියුණු තියුණු වන විට අභ්‍යාවකාශයට හෝ සඳට හෝ යාමට වැය වන මුදල පහළ වැටුණාට සැකයක් නැත.

සඳ සංචාර සංවිධානය කරන්නට සූදානමින් සිටින සංවිධාන කිහිපයක් සඳ සංචාර සඳහා අය කරන මිල ගණන් මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර ඇත. සඳට ගොඩ නොබැස පැමිණීම සඳහා කිසියම් සමාගමක්, එක් සංචාරක ආසනයකට අමෙරිකා ඩොලර් මිලියන 150ක් පමණ අය කරන බව දැක්වේ. සංචාරකයන් සඳ මතුපිටටම රැගෙන යන්නට බලාපොරොත්තුවෙන් සිටින සමාගමක් එක් සංචාරක ආසනයකට අමෙරිකා ඩොලර් මිලියන 750ක පමණ මුදලක් අය කරන බව පවසයි. මේ තත්ත්වය තුළ, සඳ වටා රවුමක් රැගෙන ගොස් එන්නට ස්පේස් එක්ස් සමාගම කොපමණ මුදලක් අය කරනු ඇත්ද යන්න ගැන දළ අදහසක් ලබාගන්නට කෙනෙකුට බැරිකමක් ද නැත.

අල් ජසීරා ඇසුරෙනි.

නව අදහස දක්වන්න