ඇන්තූරියම් සල්ලි හොයන්න හොඳ ම මඟක් | දිනමිණ

ඇන්තූරියම් සල්ලි හොයන්න හොඳ ම මඟක්

ඉරෝ­ෂිණී දීපිකා

දේශශක්ති යාමිකා ගුණවර්ධන ඇන්තූරියම් උපදේශිකා,

ඇය, ස්වශක්තියෙන් නැගී සිටීමට කැමැති දිරිය ළඳුන් හට සවියක් වූ කාන්තාවකි. ‘ඇන්තූරියම් සමඟ සතුටින් ධනය උපයමු’ යන්න තේමා පාඨය කර ගනිමින්, මෙරට සුවහසක් කතුනට නැගී සිටින්නට දිරිමත් මඟ පෙන්වන්නිය වන්නේ ද ඇය ය. ධනාත්මක සිතිවිලිවලින් පොහොණි වූ මේ කත, අතමිට සරු කරන ධන උල්පත පාදා ගන්නට, දිරිමත් ඔබට සවිමත් අත්වැලක් සපයමින් සිටින්නීය. ඇය, ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වගාවට එක්වන ඔබට, ඒ සඳහා මඟපෙන්වීම් ද කරයි. ඒ පිළිබඳ, දේශශක්ති යාමිකා ගුණවර්ධන සමඟ කළ කතාබහකි මේ.

* ඇන්තූරියම් වගාවට පිවිසි අයගේ මෙන් ම, ඒ සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් සිටින අයගේ ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි, වගාව අපනයන තත්ත්වයෙන් කරන්නෙ කොහොමද? සහ මල් වෙළෙඳ පොළ සකසා ගන්නෙ කොහොමද? කියන එක. මේ අයට ඔබ දෙන උපදෙස මොකක්ද?

වගාවට පිවිසීමට කලින්, ඒ පිළිබඳ දැනුම්වත් වීම අත්‍යවශ්‍යම දෙයක්. මේ වගාව හරිහැටි කරන විදිහ දන්නෙ නැතිව, ඒ පිළිබඳ හදාරලා නැතිව මේ දේ නිසියාකාරව කරන්න බැහැ. මේ දේ ගැන ඉගෙන ගන්න කැමැති ඕනෑම කෙනෙකුට, ඇන්තූරියම් සමඟ සතුටින් ධනය උපයන මඟ කියා දෙන්න මා ඇතුළු අපේ කණ්ඩායම සූදානමින් සිටිනවා. අපේ ආයතනය සමඟ සම්බන්ධ වුණොත්, පුහුණුව ලබාගෙන, මල් අපනයනය සඳහා ඔබටත් දායක වෙන්න පුළුවන්. අප හා එක් වුණොත්, මල් වගාව කරගෙන යාමට අවශ්‍ය ණය ලබා ගැනීමට සහය වීම, ව්‍යාපෘති අධීක්ෂණය, මිලදී ගැනීම වගේ සෑම දෙයක් සඳහා ම අපි උදවු කරනවා. ණය ලබා දීමේදී අඩු පොළී ණය යටතේ ණය ලබා ගැනීමට උදවු කරනවා.

පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය කෙනෙක්ට, පාඨමාලා කාලය පිළිබඳ සඳහන් කළොත්?

එක් දින වගේම මාස දෙකේ සහ මාස හයේ පාඨමාලා පවත්වනවා. එක දවසේ පුහුණුවේදි වුණත්, අපි මේ වගාව හරියට කරන ආකාරය වගේම, ඒ හරහා හොඳ ආදායමක් උපයාගත හැකි විදිහ පිළිබඳ මඟ පෙන්වීම් කරනවා. වැඩ අධික අයට එක් දිනකදී වුණත්, ඇන්තූරියම් අපනයනයට අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඒ අය ඇන්තූරියම් වගාව ආරම්භ කළාට පස්සේ, අධීක්ෂණ කටයුතු නොමිලේම කරලා, වගාව හරියාකාරව කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම් කරනවා. ඒ මඟින් ඒ අය ශක්තිමත්ව ගොඩනගනවා.

මේ සහන සැලසෙන්නේ, ඔබ ප්‍රදේශයට සමීප අයට විතරද?

මේ රටේ ඕනෑම ප්‍රදේශයක සිටින අයට අප සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. පුහුණු මධ්‍යස්ථානය ආඬිඅම්බලමෙ තියෙන්නෙ. පුහුණුව අවශ්‍ය අයට, දුර වුණත් එක දවසක් හරි මෙහෙ එන්න වෙනවා. මහ බැංකු නිර්දේශය වෙලා තියෙන්නේ, එක දවසක් හරි මේ මධ්‍යස්ථානයට ඇවිත් පුහුණුව ලැබිය යුතුයි කියන එකයි. මේ මධ්‍යස්ථානයේ දවසකට 150 දෙනකුට පුහුණුව ලබ දෙන්න පුළුවන්. ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම වගේ අප සමඟ සම්බන්ධයි. ඇන්තූරියම් වගාව සම්බන්ධයෙන් ඒවායේ පුහුණුව ලබන්නන්, පුහුණුවට අප ආයතනයට එනවා.

පිරිසක් පුහුණුව ලබනවා නම්, දේශන සඳහා ඔබ පිට ප්‍රදේශවලට යනවද?

දේශනයකට 300ක පිරිසකට වැඩියෙන් ඉන්නවා නම්, අප ගෙන්වා ගන්න පුළුවන්. වගාව පිළිබඳ එම දේශන සඳහා අප කිසිදු මුදලක් අය කරන්නෙ නෑ.

අධීක්ෂණ නිලධාරියකුගේ සහය ලබා ගන්න නම්, පැළ කොපමණ ප්‍රමාණයක් වගාවක් තිබිය යුතු ද?

අවම වශයෙන් පැල 150ක් වත් තිබිය යුතුයි. ඒ කියන්නෙ පර්ච් එකක වගා කර තිබිය යුතුයි. ණය හා ආධාර ලබා දෙන්නෙ, ඒ වගේ ප්‍රමාණයකින් පටන් ගත්තොත් විතරයි.

දුර ප්‍රදේශයක සිටින කෙනකුට, අධීක්ෂණ කටයුතු කරවා ගන්න පුළුවන් ද?

උතුරු පළාත හැරෙන්න, අනෙක් සෑම ප්‍රදේශයකම අධීක්ෂණ නිලධාරීන් සිටිනවා. අධීක්ෂණය කරන්නන්, මහා පරිමාණ ඇන්තූරියම් වගාකරුවන්,නිලධාරීන් 37ක් රට පුරාම අධීක්ෂණ කටයුතු කරගෙන යනවා. සේවය අවශ්‍ය අයට නිලධාරිවරයා යොමු කළහම, ඔහු එම වගාව බලලා, එය ගොඩනගලා, අවශ්‍ය සෑම උපදෙසක්ම ලබා දෙනවා.

මල් ලබාගන්න කොපමණ කාලයක් යනවද?

මාස හතෙන් මල් ලබාගන්න පුළුවන්.

පැළ 150කින් මල් වගාව අරඹන්නකුට, ‍මසකට කොපමණ ආදායමක් උපයන්න පුළුවන් ද?

මසකට රු.15,000 – 18,000 ක වගේ ආදායමක් උපයන්න පුළුවන්.

ඒ වගේ ආදායමක් උපයා ගන්න , වගා කරන්න ඕන කුමන වර්ගයේ ඇන්තූරියම් ද?

අපි අවශ්‍ය සෑම තොරතුරක්ම, පුහුණුවේදී කියා දෙනවා. අපනයනයට සුදුසු මොන මල් ද? ඒවා සකසන්නෙ කොහොමද? වගා කරන ක්‍රම, වර්ග තෝරා ගැනීම, ව්‍යවසායකත්ව ගුණාංග, අවදානම් තත්ත්ව එන තැන අප උගන්වනවා. වැඩි ම ඉල්ලුම ඇති මල් පිළිබඳ කියා දෙනවා. මේ දේ ප්‍රගුණ කළහම අපි සහතිකයක් ලබා දෙනවා. ණයක් ලබා ගැනීමේදී එ සහතිකය වැදගත්.

මේ වනවිට දේශීය හා විදේශීය වෙළෙඳ පොළ ඉල්ලුමට සරිලන සැපැයුමක් තිබෙනවද?

දේශීය ඉල්ලුම තිබෙන්නෙ තරු පහේ හෝටල්වලට විතරයි. ඒත්, එම ඉල්ලුම සපුරන්නත් අපේ රටේ සකසන මල් ප්‍රමාණය මදි. විදේශීය වෙළෙඳ පොළට දෙන්නෙත් මල් අපනයන ඉල්ලුමෙන් 3%ක් විතරයි. අපේ අරමුණ වෙලා තියෙන්නේ, අපනයන වෙළෙඳපොළයි.

අපනයනය කෙරෙන මලක මිල කීයද?

කට් ෆ්ලවර් මලකින් රු.25 – 40 මිලක් උපයා ගන්න පුළුවන්. ලේඩි ජේන් වර්ගයේ මල් හයක් රු.50 කට මිලදී ගන්නවා.

ඔබ, වුවමනාව නිසා මේ වගාව ඉගෙන ගත්තා වගේ ම, කාලයක් රැඳී සිටිමින් ලද අත්දැකීම් පාදක කරගෙන, මේ වගාවට නව හඳුන්වාදීම් කළා. මේ පිළිබඳ කතා කළොත්?

මං මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 30ක් විතර වෙනවා. අපනයනය සඳහා යොමුවෙලා අවුරුදු 17 යි. ඕනකම තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. වැඩ අධික වීම නිසා මානසික ආතතියෙන් පෙළෙන අයට, ඉන් මිදෙන්න ඇන්තූරියම් වගාව හොඳ ම මඟක්. මලක් පිපිලා තියෙනවා දැක්කහම, මුදලින් මනින්න බැරි තරම් සතුටක් ලැබෙන්නෙ.

අපි මේ ක්ෂේත්‍රයට අලුතෙන් බොහෝ දේ හඳුන්වා දුන්නා. ඒ, පර්යේෂණාත්මක අත්හදා බැලීම්වලින් පසුවයි. සිහින්ව කැපූ පොල් ලෙලි කැබැලි, ගොරෝසු ගංගා වැලි මාධ්‍යයට එක් කර, වඩාත් පලදායක සිටුවා ගැනීමේ මාධ්‍යයක් නිර්මාණය කළා. ඒ වගේම, වායු සිදුරු සහිත ප්ලාස්ටික් පෝච්චිය අපේ සොයාගැනීමක්. වැඩි සාර්ථකත්වය සඳහා සිටුවා ගැනීමේ ද්විත්ව ස්ථර දැල් ගෘහය, ලේඩි ජේන් මල් අපනයනය සඳහා වෝටර් ටියුබය අපේ වගකීම යටතේ ශ්‍රී ලංකාවේ පළමු වරට නිෂ්පාදනය වැනි දේ ඒ අතරින් ප්‍රමුඛයි.

ඇන්තූරියම් මල් වගාව හරහා සාර්ථකත්වය ලබන්න නම්, කළ යුත්තේ කුමක්ද?

ප්‍රධාන වශයෙන්ම ව්‍යවසායකත්ව මනසක් තිබෙන්න ඕනෑ. ඒ වගේම ඕනෑකම, නිවැරැදි දැනුම, කැපවීමේ හැකියාව තියෙන්න ඕනෑ. පැළ 150ක වගාවක් නම්, ඒක රැකබලා ගන්න දවසට වෙන් කරන්න ඕනෙ විනාඩි 20ක පමණ කාලයක් විතරයි.

ඔබේ උපදෙස් නැතිව හැදූ මල්, විකුණාගන්න ක්‍රමයක් නැතිව ඉන්න අයට ඔබ උදවු කරන්නෙ කොහොමද?

මඟ පෙන්වීමක් නැතිව කරන අයට වරදින්න පුළුවන්. ඒ නිසා, අපනයන මල් නිසි ප්‍රමිතියට සැකසීම පිළිබඳ අපෙන් පුහුණුව ලබාගෙන, අප ළඟ ලියාපදිංචි වුණොත්, ඔවුන්ගේ මල් අප ලබා ගන්නවා.

ශ්‍රී ලාංකේය කාන්තාවන්, මෙවැනි ස්වයං රැකියාවක නිරතවී මුදල් උපයන්නට පෙලඹෙනවා නම්, විදෙස්ගතවීම අවශ්‍ය වෙන්නේ නෑ කියලා ඔබ හිතනවද?

ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ අපේක්ෂාව වෙලා තියෙන්නෙත් මේ කටයුත්තට කාන්තාව හුරු කරවලා, කාන්තාව ගෞරවයට පත් කිරීමයි.

මේ ආකාරයට ක්‍රියා කළහම අපේ රටේ කාන්තාව කීර්තියට පත් වෙනවා. විදේශගතවීම මඟින් සිදු වෙන්නේ, බොහෝ වෙලාවට කාන්තාවට අපකීර්තියක් අත්වීමයි. ඒ වගේම, පවුල් පසුබිම සැකසෙන්න මෙය හොඳ ම මාවතක්. රජය මඟින් කරගෙන යන රැකියා දශලක්ෂය යටතේ, ස්වයං රැකියාවක් විදිහට ඇන්තූරියම් වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සිටිනවා.

නිවෙසට වෙලා, දිවා කාලය නිකරුනේ ගත කරන කාන්තාවන්ට, මේ ව්‍යාපාරයට යොමු වීමේ වැදගත්කම ඔබ පෙන්වා දෙන්නේ කොහොමද?

මේ ස්වයං රැකියාව, ජීවිතේ සතුටින් ගත කරන්න හොඳ ම මාවතක්. ඒ නිසා, අතමිට සරු කර ගන්න, එදිනෙදා වියදම් සපුරා ගන්න, මෙය නිවැරැදි ම මඟක් කර ගන්න පුළුවන්.

කාන්තාවක් විදිහට මේ ස්වයං රැකියාවට යොමු වීමට බලාපොරොත්තු වන අයට ඔබ දෙන උපදෙස මොකක්ද?

නිවැරැදිව දැනුම ලබාගෙන, නිෂ්පාදන දෙන්නේ කොහොමද කියලා දැනගෙන, මෙයට යොමුවීම වඩාත් හොඳයි. සාර්ථක වගාවක් බලන්න ඕන නම්, අපේ ස්ථානයට පැමිණෙන්න කියලා මං ආරාධනා කරනවා.

ඔබේ ඊළඟ අරමුණ මොකක්ද?

සංචාරක ව්‍යාපාරයත් සමඟ ගළපලා, මෙයට අලුත් අරුතක් එක් කිරීමට අපේක්ෂා කරනවා මගේ ප්‍රමුඛ අරමුණ මුදල් නෙමෙයි. ව්‍යාපාරයෙන් ලබන තෘප්තියයි.

ඡායාරූප ගයාන් පුෂ්පික

අදහස් 3ක් ඇත

වගාකිරීමට

නව අදහස දක්වන්න