ලක්ෂ 8,000ක හෙරෝයින් ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට | දිනමිණ

ලක්ෂ 8,000ක හෙරෝයින් ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට

විජයානි එදිරිසිංහ
චමීර ඇල්ලදෙණිය

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් නීතිවිරෝධී අවි පිළිබඳ සිදුකළ මෙහෙයුමක දී වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ 8,000ක් වන හෙරෝයින් කිලෝ 13ක් සමඟ සැකකරුවකු ඊයේ (6) සවස 3.30ට පමණ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ග්‍රෑන්ඩ්පාස් පොලිස්වසම තුළ අත්අඩංගුවට ගැනුණු විශාලතම හෙරොයින් ප්‍රමාණය මෙය වන අතර, මහවත්ත ප්‍රදේශයේ දී මෙම විමර්ශනය සිදු කර ඇත. ඊට අදාළව නොම්බර් 355 මාදම්පිටිය පාර ලිපිනයේ නිවසක තිබී රුපියල් මිලියන තුනක මුදලක් ද අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සමත්ව තිබේ.

මෙම නිවස ජපන් චූටි නමැත්තාගේ නෑනාට අයිති බවට මේ වන විට අනාවරණය වී ඇති අතර, මෙම හෙරෝයින් තොගය ප්‍රවාහනය සිදු කර ඇති කාර් රථයක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

මෙය ඉතා සංවිධානාත්මකව කෙරෙන මත්ද්‍රව්‍ය ජවාරමක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, පොලිස්පතිවරයාගේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සිදුකරනු ලබන මෙහෙයුම් තවත් කඩිනම් කර ඇති බව ද ජයකොඩි මහතා කීවේය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියලුදෙනා හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා පොලිසිය ඉතා උනන්දුවෙන් කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, ග්‍රෑන්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් ශාන්ත, උප පොලිස් පරීක්ෂක ලක්සිරි ඇතුළු නිලධාරීන් පිරිසක් මේ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය. 

 

 

නව අදහස දක්වන්න