A-380 ගුවන් යානා මෙහෙයුම් පහසුවෙන් | දිනමිණ

A-380 ගුවන් යානා මෙහෙයුම් පහසුවෙන්

 වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලබාදෙමින් වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පථය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසුව ධාවන පථය මිටර් 60 සිට මිටර් 75 දක්වා පුළුල් වන බැවින් A-380 විශාල ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ 06 වෙනිදා පෙරවරුවේ කටුනායක ධාවන පථයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවසීය.

තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපළක් වන කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය මෙලෙස කඩිනම් ප්‍රතිසංවර්ධනයක් නොකළේ නම් ගුවන් තොටුපළ අසාධු ලේඛනගතවීමට (Black List) බොහෝදුරට ඉඩ තිබුණා. ඒ නිසයි මෙම සංවර්ධන කටයුතු පසුගිය ජනවාරි මස 06 වෙනිද දින ආරම්භ කළේ. මෙහිදී විවිධ පාර්ශ්වයන් විවිධ චෝදනා සිදු කළා මෙම ගුවන්තොටුපළ වැසීම පිළිබඳ. නමුත් අපි මෙම ගුවන් තොටුපළ පූර්ණ වශයෙන් වසා දැමුවේ නැහැ. මෙම ගුවන් තොටුපළ තාවකාලිකව දිනකට පැය 08ක් වැසීම තුළින් මෙම සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරා. ඒ අනුව අද වන විට 75%ක් නිම කිරීමට හැකි වී තිබෙනවා. ඒ නිසා නියමිත දිනය වන අප්‍රේල් 06 වන විට මෙම ආස්තරණ කටයුතු නිම කොට ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාරදීමට හැකි වෙනවා. මෙම සංවර්ධන කටයුතු නෙදර්ලන්තයේ තාක්ෂණයට අනුව චීනය සමාගමක් වන කැතික් සමාගම විසිනුයි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ. ඒ නිසා තවත් වසර 20ක් පමණ යන තෙක් මෙම ධාවන පථයේ ශක්තිමත්භාවය පිළිබඳව එම විදේශ ඉංජිනේරුවන් සහ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් තහවුරු කර තිබෙනවා.

මෙම ධාවන පථය නිම කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ දෙවන පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම් කටයුතු ලබන ජුලි මස පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ඉදිකිරීම් සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම් සිදු කර තිබෙනවා. ඒ නිසා වත්මන් රජය ගුවන් සේවා කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සමස්ථ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දී තිබෙනවා.

 

නව අදහස දක්වන්න