නිල-නොනිල ගණන් හිලව් | දිනමිණ

නිල-නොනිල ගණන් හිලව්

 මහානාම දුනුමාල

හු මා හොඳින් හඳුනන්නෙකි. එදා මට ඔහු හමුවූයේ මා ජීවත්වන ගම් ප්‍රදේශයට ආසන්න උප නගරයට ගොස් බසයෙන් බහින විට ය. බස් නැවතුමේ සිටි ඔහු මා සමඟ හිතවත්කම් පාමින් දොඩමළු වූයේ ය. (මේ තැනැත්තා ස්වභාවයෙන් ම නිහඬ මිනිසෙකි.)

“සර්, වරදවා හිතන්න එපා. සමාවෙන්න ඕනෑ. ටිකක් බිව්වා. ඉඳ හිටලා ටිකක් ගත්තට වරදක් නෑනේ.”

“අයියෝ ප්‍රශ්නයක් නෑ.” මගේ කටයුත්තට යන්නට සූදානම් වෙමින් මම කීවෙමි. නගරයේ බලපත්‍ර සහිත රටබීම හල් දෙකක් ම එපිටින් පෙනෙයි. නිසැකයෙන් ම ඔහු එහි ගොස් එන ගමන් විය යුතු ය.

“මම ආවෙත් සර් ආපු බස් එකේ මයි. මම බොන්න ... ගියා.” ඔහු මගේ ගමටත් එපිටින් වූ නගරයෙන් කිලෝ මීටර අටක් පමණ දුරින් වූ ගමක නමක් කීවේ ය. මේ තැනැත්තා රහමෙර පානය සඳහා බස් රථයෙන් කිලෝමීටර අටක දුරක් ගොස් ආපසු පැමිණ ඇත.

“ටවුමෙන් බොන්නෙ කොහොම ද අපි වගේ දුප්පත් මිනිස්සු? ටවුමෙ බාර් එකේ කාලක් රුපියල් තුන්සිය අසූවයි. අතන භාගයක් දෙසීයයි.” ඔහු නිල තැබෑරුමේත් නොනිල තැබෑරුමේත් ගණන් හිලව් සංසන්දනය කළේ ය. (ඔහුගේ ගණන් හිලව් අනුව නිල තැබෑරුමේ අරක්කු කාලක මිලට රුපියල් විස්සක් එකතු කළ විට නොනිල තැනින් කසිප්පු බෝතලයක් ම ලබාගත හැක.)

මම මගේ හිතවතා මෙතරම් අගය කරන නොනිල තැබෑරුම ගැන අසා ඇත්තෙමි. එය ප්‍රධාන පාරින් විහිදෙන අතුරු පාරක පිහිටියේ ලු. වතාවක් මා එම අතුරු පාරේ ගමන් කොට ත්‍රීරෝද රියකින් ආපසු එන විට පාර දිගේ මගේ ප්‍රතිවිරුද්ධ පැත්තට රංචු පිටින් මිනිසුන් යනවා දිටිමි. මේ මිනිස් පෙරහර පිළිබඳ රියැදුරාගෙන් විමසූ විට ඔහු කීවේ වැඩ පොළ හමාර කොට අතනට යන මිනිසුන් බවයි.

මම නවසිය අසූව දශකයේ මැද භාගයේ පොළොන්නරුවේ පාසලක සේවය කළෙමි. එදවස එහි විසූ ඇතැම් ගැමියෝ එහි සුලබව සපයා ගත හැකි පානයක් වූ කසිප්පු ‘අරක්කු’ යනුවෙන් හඳුන්වන්නට පුරුදුව සිටියහ. අරක්කු හඳුන්වන ලද්දේ ‘සීල්’ යනුවෙනි. කැලෑවට යටව ඇති නූතන වාරි පද්ධතියට හසු නොවූ වැව් ආශ්‍රිතව කසිප්පු නිෂ්පාදනය සුලභව සිදුවිය. මෙම ග්‍රාමීය නිෂ්පාදනයට සම්බන්ධ සැපයුම්කරුවෝ ද අත මිට කාසි බාගෙ ගැවසෙන ඇත්තෝ වූහ.

එක් වතාවක මා සේවය කළ පාසලේ ශ්‍රමදාන පදනමින් සිදු වූ ඉඳිකිරීමක මේසන් වැඩට එන්නට පොරොන්දු වූ දෙමාපියකුට පසුදා වැඩට එන්නැයි පණිවිඩය දෙන්නට රෑ බෝ වූ වෙලාවක මට ඔහුගේ නිවෙසට යන්නට සිදු විය. එතැන ගමේ නිෂ්පාදිත පානය සරුවට අලෙවි කෙරෙන සවසට මතින් මත්වෙන්නට කැමති අය ගැවසෙන තැනක් බව ද මම දැන සිටියෙමි. මම ගේ අසලට ගොස් ගෙහිමියාගේ නම කියා ඊට අගින් බාස් උන්නැහේ යන අපර පදය ද යොදා කතා කළෙමි.

“කසිප්පු බොන්ට එන අය පිටිපස්සෙන් එන්ට.” කටහඬ හඳුනා නොගත් පාසලේ මගේ ගෝලයකු වූ ගෙදර කොලුවා පිළිවදන් දුන්නේ ය.

“චන්දන මම ඉස්කෝලෙ ... සර්. මට තාත්තට කතා කරන්ට ඕනෑ.” මම වහාම මගේ අනන්‍යතාව හෙළි කළෙමි. කොලුවා වහා නිහඬ වූ අතර, ඔහුගේ පියා හා මව වහා මිදුලට පැමිණියහ.

“සර්, එන්ට වාඩිවෙන්ට.” ගෙහිමියා මට ඇරියුම් කළේ ය. මම පණිවුඩය ඔහුට දන්වා ආපසු පැමිණියෙමි. කොලුවා නම් සතියක් පමණ ගත වන තෙක් මගේ මුහුණ මඟහැරියේ ය.

වතාවක් පොළොන්නරුවේ මා සේවය කළ පාසල අසල නිවෙසක දැරියකගේ වැඩි විය පත් වීමේ උත්සවයකට සහභාගී වන්නට අපේ ගුරුවරුන් කීප දෙනකු ඇරයුම් ලබා තිබිණි. එම දුප්පත් උත්සවයට සහභාගී වන ආරාධිතයන්ට පැටිස් වැනි කටගැස්මක් සමඟ බීම වීදුරුවක් බොන්නට පිළියෙල කොට තිබිණි. පැත්තක දැරියගේ පියා ඔහුගේ යහළුවන්ට වෙනස් පන්නයේ සංග්‍රහයක් පවත්වමින් සිටියේ ය.

මේසයක පසෙකින් පිරිය නූපදවන අන්දමින් රෝස්ට් කළ කුකුළකු තබා තිබිණි. ඒ සාදයේ පෙනුම පිණිස ය. අනුභවයට ඊට බෙහෙවින් බාල කටගැස්මක් තබා තිබිණි. පසෙකින් මිල වැඩි බ්‍රැන්ඩි බෝතලයක් තබා තිබිණි. බෝතලය බ්‍රැන්ඩි වුවත් ඇතුළත තිබුණේ ගමේ නිෂ්පාදිත කසිප්පු ය. ගෙහිමියා අපට ද ඔහුගේ සාදයට ඇරියුම් කළේ ය. අපි එය හැකිතරම් කාරුණිකව ප්‍රතික්ෂේප කොට බීම වීදුරුවෙන් සෑහීමට පත් වූයෙමු.

“උගත් මහත්තුරු වුණාට තැනේ හැටියට ඇණේ ගහන්න බැරි එකයි කනගාටුව.” මුඛරි ජනපදවාසියකු වූ ගෙහිමියා අපට නර්මාලාපයකින් සංග්‍රහ කළේ ය. පොළොන්නරුවෙන් සමුගෙන කලකට පසු පුවත්පත් කියවන විට ලෝකාන්තයෙන් පැන සිය දිවි නසාගත් තරුණ පෙම් යුවලක් පිළිබඳ කතාව කියවන්නට ලැබිණි. තරුණිය එදවස මා සේවය කළ ප්‍රදේශයේ ය. පසුව විමසා බලන විට දිවි නසාගත් තරුණිය එදා වැඩිවිය පත් දැරිය බව දැනගන්නට ලැබිණි. සිතේ හටගත්තේ ශෝකාතුර හැඟුම් සමුදායෙකි.

මෙවර සංහිඳ පාමුල තීරය හුදෙක් කසිප්පු කතා සඳහා යොදාගත්තා යයි ඔබ සිතන්නට පිළිවන. නැත. කොහොමටත් අපේ මිනිසුන්ගේ මධුලෝලී බවට සෑහෙන දිගු ඉතිහාසයක් තිබේ. බොහෝ අය විශේෂයෙන් ම අඩු ආදායම් ලබන පන්තියේ ජනතාව කාලයක සිට සිය මධුලෝලී අවශ්‍යතා සපුරා ගනු පිණිස නිල මත්පැන් අලෙවි සල්වලට වඩා පොලිස් වැටලීම්වලට ඉලක්ක විය හැකි නොනිල නීති විරෝධී මත්පැනෙහි පිහිට පැතූහ. අපේ ගම් පළාතේ පිහිටා තිබූ මෙවැනි හොර පොට් දෙකක් හැඳින්වීම පිණිස කලකට ඉහත ගසක පිහිටා තිබූ පිළිමයක හැඩය හේතුවෙනුත්, ප්‍රාතිහාර්ය පිළිබඳ විශ්වාසය හේතුවෙනුත් රට පුරාම සිටි බැතිමතුන් ගෙන්වා ගනිමින් ප්‍රසිද්ධ වූ වයඹ පළාතේ ස්ථාන දෙකක නම් යොදා ගැනිණි.

කොහොමටත් රජයට සුරා බදු ගෙවන, සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රමවේද අනුව ප්‍රමිතිගත නිල මත්පැන් මිල ඉහළ යන විට මධුලෝලීහු නොනිල මත්පැන් අසීරුවෙන් හෝ සොයා යාමට පෙළඹෙති. භාණ්ඩ මිල ඉහළ යන විට ආදේශක භාණ්ඩ සොයා යාම ආර්ථික සිද්ධාන්තවලට ද එකඟ ය. මා මුලින් කී කතාවේ එන තැනැත්තා බොහෝ දුරක් බසයෙන් ගමන් කරන්නේ මිල අඩු ආදේශක සොයා ය. මත්පැන් මිල ඉහළ දැමීම මත්පැන් පානය අඩු කරන්නට සුදුසු උපක්‍රමයක් නම් නො වේ. එවිට නීති විරෝධී මත්පැන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යයි. මත්පැන් පානය අවම කරන්නට දරන වෑයමකට ගැළපෙන්නේ ජනතාව දැනුම්වත් කරමින් කරන වැඩසටහන් මිස මිල ඉහළ නැංවීම නො වේ. 

නව අදහස දක්වන්න