උසස් පෙළ සන්නි­වේ­ද­නය | දිනමිණ

උසස් පෙළ සන්නි­වේ­ද­නය

බන්දුල පී දයාරත්න

“හලෝ... ඔය ටොම්සන් මහත්තයාද?”

“ඔව්.... කියන්න...”

“ඔය තොරතුරු කන්තෝරුවද?”

“මෙහෙමයි.. අපි තොරතුරු කන්තෝරුව කියන්නේ ඒකට පොඩි උදව්වක් කරනවා විතරයි. ඔය එක එක අය තොරතුරු ඉල්ලන ඉල්ලුම් පත්‍ර සකස් කරලා දෙනවා. ඒක තමයි අපි කරන්නේ...”

“ඒක හොඳයි... මට මේ තොරතුරු ටිකක් ඕනැ කරලා තියෙනවා... ඒකට උදව් කරන්න පුළුවන් නම් හොඳයි.”

“මොකක් ගැනද? අපට පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම්.”

“අපිට ඕනැ කරලා තියෙනවා මේ අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මක වෙන උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය තියෙන්නෙ කොහෙද කියලා හොයා ගන්න... අපි මේ අංජනම් එළි කීපයකුත් බැලුවා. සාස්තරත් ඇහුවා.. අංජනම් දේවිට පේන්නෙත් නෑ.. සාස්තරවලට කියවෙන්නෙත් නෑ... ඉතින් අපි කල්පනා කළා අර තොරතුරු පනත යටතේවත් මොකක් හරි තොරතුරක් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න...“

“මෙහෙමයි මහත්තයා... මේ ගැන මීට කලිනුත් හතර පස් දෙනෙක් ඇහුවා.. ඉතින් අපි මේ ගැන හොයා ගත්තු තොරතුරු ටිකක් තියෙනවා.. ඕනැ නම් ඒ තොරතුරු ටික දෙන්න පුළුවන්...‘

“‘කමක් නෑ ... කියන්න...මොකද මේ වෙන කොට 2017 අලුත් සංශෝධිත විෂය නිර්දේශය පාසල්වලට ලැබිලා... ගුරු අත්පොත්වලට ගුරුවරු පුහුණු කරලා තියෙන්න ඕනැ නේ... තවම ඒ ගැන කිසිම හා හූවක් නෑ...‘

“ඒක තමයි අපිත් දන්න තොරතුර... විෂය නිර්දේශ සංශෝධනය කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය නේ... ඒක ඉතින් ඔය වැඩේට ලෝක ප්‍රසිද්ධයි නේ.. අර පහු ගිය දවස්වල සිංහල උසස් පෙළ විෂය නිර්දේශයත් මරු එකට හදලා කියලා මහා කලබලයක් වුණා නේ... අඩු ගණනේ ඒ ගැන එක වචනයක් නිල වශයෙන් ප්‍රකාශ කළේ නෑ නේ... ඉතින් මෙහෙමයි මහත්තයා... අපි හොයා ගත්තු තොරතුරුවල හැටියට ඔය උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර දීලා තිබුණේ රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන නෝනා කෙනකුට නේ. එයා ඒ වැඩේට කියලා බඳවා ගත්තු කෙනෙකුත් නෙවෙයි. අනික් එක ඒ නෝනාට ඒ වැඩේ බාර දීලා තියෙන්නෙත් මේ හෝටලේක තේ හදන්න දෙනවා වගේ නේ..”

“මට තේරෙන්නේ නෑ ටොම්සන් මහත්තයා කියන දේ...”

“එහෙම තමයි.. මං මේ කිව්වට මටත් තේරෙන්නේ නෑ මේ විෂය නිර්දේශයට මොකද වෙලා තියෙන්නේ කියලා... පහුගිය අවුරුදු දෙකක්ම උසස් පෙළ සන්නිවේදනය විෂයය හැදුවේ හැංගි මුත්තං ක්‍රමයට නේ... මුල ඉඳන් ඒකට සම්බන්ධ වෙලා හිටපු සුදුසුකම් හා පළපුරුද්ද තිබුණු අය අයින් කළා... ඇහින්දාස් ක්‍රමයට උපදේශකයෝ ගුරුවරු තෝරා ගත්තා... මේ මහත්තයාට කියන්ඩ ඒකට සහභාගි වුණු එක ගුරුවරියක් කියනවා තමන්ට ඒ වැඩේට කිසිම සුදුසුකමක් නෑ කියලා... ඒත් තමන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න ඕනැ නිසා සහභාගි වුණා කියලා...”

“ඒක හොඳයි... හරි ඉතින් කොහොම හරි දැන් ඔය උසස් පෙළ සන්නිවේදනය විෂය නිර්දේශය හදලද තියෙන්නේ?”

“අපොයි ඔව්... ඒක දැන් මේ දේශීය විෂය නිර්දේශයක් නෙවෙයි.. ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශයක්...” කියා ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

“‘මට තේරුණේ නෑ... මොකක්ද ඒ ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශයක් කියන්නේ.?”

“ඇයි මහත්තයා... අර ප්‍රවෘත්ති නෝනයි... එයාගේ උපදේශකයොයි... අර වැඩ බැරි ගුරුවරුයි එකතු වෙලා කපලා හදාපු කඩදාසි ටික අනුමත කරලා දුන්නානේ අර අමෙරිකාවේ හවායිවල ඉන්න අපේ මහාචාර්ය විමල් දිසානායක මහත්තයා.. ඉතින් දැන් අපේ උසස් පෙළ සන්නිවේදනය විෂය නිර්දේශය අන්තර්ජාතික මට්ටමේ එකක්...”

“ඒකත් හොඳයි.. ඒත් මං මේ දන්නේ නැති හින්දා අහන්නේ.... දැන් ඔය හවායි මහාචාර්යතුමා ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව ගැන දන්නා කෙනෙක්ද? “

“නැත්තං .... මොකද නොදන්නේ...? ඒ මහාචාර්යතුමාත් මේ ලංකාවේම නේ ඉගෙන ගත්තේ... ඉතින් මොකද නොදන්නේ... ඒත් අපි මේ හවායි මහාචාර්යතුමාව පහු ගිය දාක ලංකාවෙදි හම්බු වෙච්චි වෙලාවේ ඇහුවේ තමුන්නාන්සේ මේ විෂය නිර්දේශය ගැන දැනගෙනද ඒක අනුමත කරලා හොඳයි කියලා දුන්නේ කියලා.. ඒ සැරේ එතුමා කිව්වේ...අනේ නෑ.... එහෙම නං දන්නේ නෑ.. අර ප්‍රවෘත්ති නෝනා අර ගෙන ආවා.. අර ඒකේ උපදේශක හිටපු මහාචාර්ය මහත්තයෙක් කිව්වා කියලා.. ඉතින් මං අත්සන් කරලා අනුමත කරලා දුන්නා කියලා...”

“හපොයි.. හපොයි.. එහෙනං හවායි මහාචාර්යතුමත් ඉල්ලා ගෙන කෑවා වගේ...”

“නෑ.. ඉල්ලාගෙන කෑවා නෙවෙයි.. ඉල්ලා ගෙන නෑවා... දැන් ඉතින් ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයටත් හරි ඉහළයි.. ඇයි මේක ජාත්‍යන්තර විෂය නිර්දේශයක නේ...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“හරි.. ටොම්සන් මහත්තයා... එහෙම අනුමත කරපු ජාත්‍යන්තර විෂය නිර්දේශය කෝ ඉතින්...?” කියා දුරකථන මහත්තයා ඇසුවේය.

“අන්න ඒක තමයි ප්‍රශ්නේ... දැන් මෙහෙමනේ වෙලා තියෙන්නේ.. හොරා පොලිස් ක්‍රමයට අර ප්‍රවෘත්ති නෝනා හදාපු විෂය නිර්දේශයත් හංගලා ඒ නෝනා ජාතික අධ්‍යාපන ආයතනයෙන් අස් වෙලා ගිහින්..”

“එතකොට කෝ අර හදාපු විෂය නිර්දේශය ?”

“අන්න ඒක තමයි ප්‍රශ්නේ... මේ මහත්තයා ආයෙත් අංජනම් එළියක් දෙකක් ඇරලා බලන්න.. අර ප්‍රවෘත්ති නෝනා ඒ ලිපි ගොනු ටික හංගලා තමයි ආයතනයෙන් අස් වෙලා ඔය විශ්වවිද්‍යාලෙකට බැඳිලා තියෙන්නේ... දැන් මාස තුනක් වෙනවා...”

“එහෙම කොහොමද ටොම්සන් මහත්තයා... දැන් අලුත් උසස් පෙළ පන්ති ලබන වාරේ පටන් ගන්න කොට අපි ළමයින්ට ඒ අලුත් විෂය නිර්දේශයට උගන්නන්න ඕනැ නේ... ඒකට සූදානම් වෙන්න ඕනැ නේ... ඒක කොහොමද කරන්නේ...? ඒක මේ දඩි බිඩියේ කරන්න පුළුවන්ද?”

“මොකද බැරි...? එහෙම තමයි ජාතික අධ්‍යාපනේ කියන්නේ... මේ මහත්තයාට පුළුවන් නම් ජාතික අධ්‍යාපන ආයතනයට කතා කරලා අහන්න...”

“මං ඇහුවා... ඒ සැරේ ඒ අංශය භාර හාමුදුරුනමක් නේ ඉන්නේ.. උන්වහන්සේ වදාළා මේ ගැන මං මුකුත් දන්නේ නෑ... අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අහන්න කියලා.. අධ්‍යක්ෂ ජනරාල්ගේ දුරකථනයට කතා කරන්න බෑ...”

“ඒක තමයි... මේවා මේ ජීවත් වෙන්න කරන රස්සාවල් විතරයිනේ... පුළුවන් නම් ජාතික අධ්‍යාපන වෙබ් අඩවියේ කොතැනක හරි සන්නිවේදනය මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය අදාළ දෙපාර්තමේන්තුවක් තියෙනවද කියලා බලන්ඩකෝ... සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සන්නිවේදනය භාර කාටද? මොන අධ්‍යක්ෂටද? මොන දෙපාර්තමේන්තුවටද? කියලා ජාතික අධ්‍යාපන වෙබ් එකෙත් නෑ... ඉතින් කාටද කියන්නේ... ඉස්කෝලේ විෂය නිර්දේශ හැදෙන හැටි ඔහොම තමයි... ඒක ගැන මේ රටේ මිනිස්සු - පාලකයෝ කවුරුවත් හරියට දන්නේ නෑ... ඒක දන්නවා නම් දෙමාපියෝ ජාතික අධ්‍යාපන ආයතනය වටලනවා... හොඳ වෙලාවට දන්නේ නැත්තේ... එහෙනං මහත්තයා... තව අංජනම් එළි බලලා විතරක් වැඩක් නෑ.. පුළුවන් නම් පිල්ලියක් ඇරලා බලන්න...එතකොට උසස් පෙළ සංශෝධිත විෂය නිර්දේශය තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්න පුළුවන් වෙයි...” කියා ටොම්සන් මහත්තයා දුරකථනය විසන්ධි කළේය. 

නව අදහස දක්වන්න